daughter.gif (460 bytes)


සොඳුරු
දියණිය නුඹටයි


ආදරණීය දුවේ,
ඉතින් කොහොමද? කාලෙකට පස්‌සේ. මම මේ ඔයාට ලියන්නේ. නේද?
මට අවිවේකය ඒ තරමට දුවේ, මේ ටික අහගන්නකෝ. මාත් එක්‌ක සමීපව ඉන්නවා එක්‌ මිතුරියක්‌.
මම මීට කලින් ඔයාට කියලා ඇති. ඒ අම්මාට හිටියේ එකම දුවයි. ඉතින් ඒ දුවට ඒ වයස එනතුරු දන්න ශිල්ප සේරම දුන්නා අම්මා. මං හිතන්නෙ හරි හම්බ කළ දේවලින් දුවට තමා මුල් තැනට වියදම් කළේ.
ඒ දියණියත් ගෙදරට මිණි පහනක්‌ වුණා. යුතුකම් වගකීම් අම්මටත් වඩා හොඳට ඉටු කළා. අම්මා අතිනුත් යම් වැරදීමක්‌ වුණොත් අම්මේ මේක වැරදියි නේද කියන තරමට දුව කීකරු හොඳ දුවෙක්‌ වුණා.

ඒත් දුවේ, මේ තරම් හොඳට ගුණ දහම් ඉගෙන ගත්තු ඒ දියණිය
ඒ අම්මා නොසලකා හැර එයා විසින්ම තෝරා ගත් මනාලයෙක්‌ සමඟ යන්න ගිහිං.....
ඉදින් මෙවන් කීකරු දුවක්‌. මෙහෙම කරයිද? කියලා කවුරුවත් හිතුවෙ නැහැ. ඒ අම්මා අන්තිම අසරණ වුණා බොහෝම කම්පාවට පත් වුණා. අපි නිතර දකිනවා පුවත් පත්වලට එයා නිතර කවි සංකල්පනා ලියනවා දුව නිසා. එයින් බොහෝ දුරට එයා දුක සංතාපය ලැඡ්ජාව නැති කරගන්න බැලුවා. බොහෝ වෙලාවට මේ සියලුම දේවල් අත හැරලා ආගමික පැත්තට නැඹුරු වුණා. බොහෝම මහන්සි වුණා.

හිත හදාගන්න. ඉතින් දුවේ. අපේ සංස්‌කෘතියේ හැටියට සියලුම තරහ මරහ නැති කරගන්න තියෙන හොඳම වෙලාව සිංහල අලුත් අවුරුද්ද? අනේ ඒ අම්මාගේ හිතේ කොනක තිබුණා මගේ දුව සිංහල අවුරුද්දටවත් සේරම අකා මකා යන්න එයි කියන බලාපොරොත්තුව. ඒ ආවෙත් නැහැ. එයා වටා හිටිය අනෙක්‌ සහෝදර සහෝදරියන්ගේ දරුවෝ ඇයව තනි කළේ නැහැ. කවදත් ඒ ළමයි ඇයට ආදරෙයි. මේ ඊයේ පෙරේදා දිනයක ඇය, ඇය සතු ඉඩම් කැබලි කිහිපයක්‌ අර ඇයට කවදත් ආදරේ කළ ඥාති දරුවන්ට ලියා දුන්නා.

දෙමාපියන්ගේ කිසිම දෙයක්‌ මට එපා. ඕවා ඕන කෙනෙකුට දෙන්න කියා, අම්මාගේ මූණටම කියපු ඒ දුව දැන් අම්මාට තර්ජනය කරනවා අම්මා කරන වැඩේ හරිද කියලා.
ඉතින් හැම දියණියකටම කියන්නේ, අම්මා කියන්නේ. වචනයකින්, හැඟීම්වලින් විස්‌තර කරන්න බැරි තරම් වස්‌තුවක්‌ කියලා. අම්මාගේ ආදරේ මේ ලෝකෙ කිසිම කෙනෙක්‌ ළඟ නැහැ කියලා.
ඉතින් ඒ අම්මා කියන්නේ බුදු දහමට අනුව කිසිම කෙනෙකුට වෛර කරන්නෙ නැහැ. මම කිසිම දේකට ඇලීමක්‌ ආශාවක්‌ නැහැ කියලා. නමුත් දුව අම්මාට දොස්‌ කියන විට ඇය සතු සියලු දේ මේ අම්මා දන් දී හමාරයි. ඒ නිසාම දුවේ අම්මාගේ ආදරේ තේරුම් ගන්න. මම දූවරුන්ට කියන්නේ ඒ ටික තමා. ආදරණීය දුවේ, ඔයාට බුදු සරණයි.

මේ ආදරණීය අම්මා
යමුනා කුමාරි දෙඹටපිටිය