health.gif (441 bytes)
රුධිර වහනය වැඩිද?

කාන්තා සෞඛ්‍ය සායනය
වෛද්‍ය චම්පා නෙල්සන්


මාස ශුද්ධ වීම හෙවත් ආර්ථවය සිදුවන විට රුධිරය වහනය වීම සාමාන්‍ය තත්ත්වයයි. මෙය අසාමාන්‍ය ලෙස සිදුවන අවස්‌ථා ඇත.
සාමාන්‍ය නීරෝගී කාන්තාවකට මාස ශුද්ධ වීම දින 21-35 ත් අතර චක්‍රාකාරව සිදුවේ. මෙහිදී රුධිර වහනය දින 5-7 ත් අතර කාලයක්‌ පැවතීම සාමාන්‍ය දෙයකි. මසකට රුධිරය මිලි ලීටර් 25 ත් 80 ත් අතර ප්‍රමාණයක්‌ පිටවේ. මෙලෙස චක්‍රාකාරව සිදුවන රුධිර වහනය මිලි ලීටර් 80 ට වැඩිවීම හෝ දින 7 කට වඩා වැඩි කාලයක්‌ රුධිරය පිටවීම අසාමාන්‍ය ලෙස සැලකේ. පිටවන රුධිර ප්‍රමාණය දළ වශයෙන් තමාට තීරණය කළ හැකිවේ. මෙවැනි තත්ත්වයක්‌ ඔබට ඇත්නම් වහාම වෛද්‍යවරයකු හමුවිය යුතුය. මෙලෙස රුධිරය අධික ලෙස පිටවීම ඕනෑම කාන්තාවකට පීඩාකාරී තත්ත්වයකි. විශේෂයෙන්ම රැකියාවක යෙදෙන කාන්තාවකට ඉමහත් අපහසුකාරිතත්වයන්ට මුහුණ දීමට සිදුවිය හැක. ඊට අමතරව කලක්‌ තිස්‌සේ ශරීරයෙන් රුධිරය පිටවීම නිසා නීරක්‌තිය හෙවත් ලේ හිඟකම ඇතිවිය හැක. මෙම තත්ත්වය ඇති වුවහොත් මහන්සිය, හතිය, ක්‌ලාන්තය, හිසරදය ශරීරයේ දුර්වල ගතිය වැනි රෝග ලක්‌ෂණ දැකිය හැකිය.
වැඩිවිය පැමිණි අලුත සහ ආර්ථවහරණයට ආසන්නව එනම් වයස අවුරුදු 50 ක්‌ පමණ වූ විට මාස ශුද්ධ වීම සමඟ වැඩිපුර රුධිර වහනය වීම දැකිය හැක. වයස යැමත් සමග ඩිම්බ කෝෂ තුළ ඇති ඩිම්බ ක්‍රමයෙන් අඩු වී අවසානයේ ක්‍රියාකාරිත්වය නවතී. මෙවැනි තත්ත්වයට පත්වන විට සිදුවන ආර්ථවය ඩිම්බ පිට නොවී සිදුවන රුධිර වහනයක්‌ පමණි. හෝර්මෝනවල සිදුවන වෙනස්‌ කම් නිසා මෙම අවධියේ දී සිදුවන මාස ශුද්ධ වීම සමඟ වැඩිපුර රුධිර වහනය සිදුවේ. බොහෝ විට මෙය මාසයක්‌ දෙකක්‌ පමණ සිදුවී නවතී.
දිගින් දිගටම සිදුවන විට වෛද්‍ය උපදෙස්‌ සඳහා යායුතු හේතු කීපයක්‌ම ඇත. ඉන් වැදගත්ම වන්නේ රුධිරය අඩුවීමෙන් ශරීරයේ සිදුවන දුර්වල කම් හා හෘදයට ඇතිවන බලපෑම්ය. තවද මෙම තත්ත්වයට ඉහත හේතුව හැර වෙනත් හේතුන්ද තිබිය හැක. එනම් ගර්භාෂය ආශ්‍රිතව ඇතිවන ගෙඩි සහ පිළිකා වර්ගවලින්ද මෙම තත්ත්වය ඇතිවිය හැක. එබැවින් මෙම තත්ත්වය දිගටම ඇති වේ නම් වෛද්‍යවරයකු ලවා පරීක්‌ෂා කරගැනීම කළ යුතුයි.
ගැබ් ගැනීමක්‌ සිදු වී මුල් අවධියේදීම එම ගර්භයේ වර්ධනය නැවතුනහොත් රුධිර වහනය වැඩිපුර වීම දැකිය හැක. මෙහිදී ගර්භය ඉතා කුඩා වුවද ගර්භාෂ පටලය හොඳින් වර්ධනය වී තිබීම නිසා රුධිර වහනය වැඩිපුර සිදුවීම දැකිය හැකිය. සමහර අවස්‌ථාවලදී ගැබ් ගැනීමක්‌ සිදු වූ බව එම කාන්තාව නොදන්නවා විය හැක. මෙවැනි තත්ත්වයන් දිගින් දිගටම සිදුවන්නේ ද නැත.
ඉතාමත්ම කලාතුරකින් රුධිරය කැටි ගැසීම හා සම්බන්ධ රෝගී තත්ත්වයන් නිසා මෙලෙස රුධිර වහනය සිදුවිය හැක. මෙය ඔබගේ වෛද්‍යවරයා විසින් පරික්‌ෂා කර බලා නිගමනය කරනු ඇත. එවැනි අවස්‌ථාවක නියමිත ප්‍රතිකාර කිරීමෙන් එය මඟ හරවා ගත හැක.
ගර්භාෂය තුළ විෂබීජ ආශ්‍රිතව ආසාදිත තත්ත්වයන් ඇති වූ විටදීද මෙලෙස රුධිර වහනය වැඩි විය හැක. එවන් අවස්‌ථාවලදී ආසාදනයට අදාළ වෙනත් රෝග ලක්‌ෂණ එම කාන්තාව තුළ ඇතිවේ.
තරබාරුකම මෙම ගැටලුවේදී රෝගියාට අවාසි සහගත තත්ත්වයක්‌ ඇති කරයි. එනම් තරබාරු කාන්තාවන්ට මෙම රෝග තත්ත්වය ඇතිවීමේ ප්‍රවණතාවය වැඩිය. එබැවින් රෝගයට හේතුව කුමක්‌ වුවද ශරීරයේ ස්‌ථුලභාවය අඩුකර ගැනීම රෝගය මගහරවා ගැනීමට ඉවහල් වේ.
මෙම කවර හේතුවක්‌ නිසා වුවද ඔබට මෙම තත්ත්වය දිගින් දිගටම ඇතිවේ නම් කල් නොහැර තමාගේ වෛද්‍යවරයා මුණගැසී පරීක්‌ෂා කර ගැනීම අත්‍යාවශ්‍යයයි.
රුධිරය වහනය වීමෙන් ශරීරයේ නීරක්‌ති තත්ත්වය ඇති වී ඇත්නම් යකඩ ඌනතාවය ඒ සමඟ ඇතිවේ. බොහෝ විට යකඩ අඩංගු පෙති භාවිත කිරීමෙන් මෙම තත්ත්වය මඟ හරවා ගත හැක. මෙම ප්‍රතිකාරය නියමිත කාලයක්‌ ගැනීම අවශ්‍ය වනු ඇත.
මේ හැර මාසිකව සිදුවන රුධිර වහනය අඩු කිරීමට හෝර්මෝන අඩංගු පෙති නියමිත ආකාරයකින් භාවිත කළ යුතුයි. මෙවැනි ඖෂධමය ප්‍රතිකාර කිරීමට පෙර වෛද්‍යවරයා විසින් මෙම රෝගී තත්ත්වයට වෙනත් අභ්‍යන්තර හේතූන් ඇත්දැයි පරීක්‌ෂා කරනු ඇත. බොහෝ විට එවැනි හේතූන් නැත්නම් ශල්‍යකර්ම අවශ්‍ය වන්නේ නැත.
ඖෂධ මගින් මෙම තත්ත්වය මඟ හරවා ගත හැක.