story.gif (703 bytes)

BACK



66: කොටස

හිත බිඳුනාම ආදරයේ සුන්දරත්වයත් බිඳෙනවා

ප්‍රදීප් කුමාර බාලසූරිය


මසිත බොහෝ කම්පනයකින් යුතුය. ගැබිණියක වුදා සිටම සිහින මැව්වේ, දරුවා උපදින විටදී, ත්‍රිකා අද්දරින්ම සිටීමටය. එය ගැන මා වෛද්‍යවරයා සමග ද කතාබහ කර තිබුණා. මෙම අබලම් ගමනෙත් ඒ සියල්ල වෙනස්‌ව යැම මට දරාගනු බැරි පාඩුවක්‌ සේ හැඟිණි.
"Dr.Mahesh, Seth is here"
වෛද්‍යවරයාට තොරතුරු දැන ගැනීමට කතා කළ ද, එය මට ලැඡ්ජාවක්‌ හැඟෙන්නක්‌ විය. මන්ද, ඔහු මා මේ මොහොතේ ඈතක ගියේ මන්දැයි සිතනු ඇත.
"Good Morning,Sir"
ත්‍රිකාගේ දරු ප්‍රසූතිය බාර කළ වෛද්‍යවරයා මා සමග දෙඩීය.
"How is my wife and baby"
"They are in good condition my congratulation,Sir"
"Glad to hear that"
"On my way to the hosptal,

ත්‍රිකාගේ මුහුණ බැලීමේ අසීරුවක්‌ මට තිබේ. ඒ සඳහා සියුම් උපක්‍රමයක්‌ ලෙසින් මා අතරමගදී රතු කානේෂන් මල් පොකුරක්‌ මිලදී ගතිමි. කාමරය වෙතට ගිය විටදී ඇය සිටියේ යහනෙහි වැතිර දෑස්‌ පියාගෙනය දියණිය පුංචියට අසල වූ තොටිල්ලෙහි වූවාය.
"මගේ සුබ පැතුම්..."
ඇසෙන නෑසෙන හඬකින් මම අසීරුවෙන් කීමි. ඇය දෑස්‌ හැර බැලුවේ සුන්දර සිනාවක්‌ දෙතොල් අගට ගනිමිනි. ත්‍රිකා එක්‌වරම කළේ. මගේ දෑත ගෙන තම ලය මත තබාගෙන යළි දෑස්‌ පියා ගැනීමය.
"මගේ තෑග්ග මං ගෙනාවා.."
ඇය දෑස පියාගෙනම දෙඩීම එක්‌තරා අන්දමකින් මට සැනසීමක්‌ විය. මන්ද එවිට මට ඇය දෙස බලා සිටීමට හැකිය. මගේ වැරදිකාර හැඟීම් ඉවත් කිරීමට දෝණිට කළ හැකි දේ බොහෝ යෑයි මට සිතුණෙමි. එහෙත්a ඇය තවමත් නොදරුවෙකි.
"දෝණි අඩ අඬා උන්නේ...."
"ඇයි ඒ..."
"එයා ලෝකෙට එද්දී පිළිගන්න තාත්ති ඇවිදින් උන්නේ නෑ කියලා."
"ඉතින් ඇයි මට නොකිව්වේ. හොස්‌පිට්‌ල් ඇඩ්මිට්‌ වෙන විත්තිය කිව්වා නම් මං ඊයේ රෑම එනවනේ... කොහොමත් මට ඊයේ රෑ ගෙදර එන්න ලොකු උවමනාවක්‌ තිබුණා. මට ඔයාවම මතක්‌ වුණා. හරිම කම්මැලි කමක්‌ දැනිලයි තිබුණේ..."
ඇයගේ කට කොණකට සිනාවක්‌ ආවේ... මං හැමදේම දන්නවා." යෑයි කීමට මෙනි. මම පසුබෑවෙමි. පිරිමි මෙතරම් අවලම් වූයේ කෙසේදැයි ඇය සිතන්නට ඇත.
"පන්සල් ගිහිං ආවට පස්‌සේ රෑ හතට විතරනේ අමාරු වුණේ... සෙල් එක ඕෆ් කියලා සෝමා කිව්වා. අනෙක ඔයාට කරදර කරන්න මට ආසා හිතුනේ නෑ.."
"අපරාදේ... මං ආසාවෙන් උන්නේ ඔයාට බබා හම්බ වෙද්දී ඔයාගේ ළඟට වෙලා ඉන්න..."
"ඒකට කමක්‌ නෑ.. දැන් තමයි හැමදාම ළඟින් ඉන්න ඕනේ..."
අප දෙදෙනා අතර නිහඬ බවක්‌ පැතිර ගියේ මට පූර්වි සිහිපත් වීමෙනි. ත්‍රිකා සිතන්නේa රන්මාලි නංගි ගැනය. නමුත් මේ ගමනට ඇය සම්බන්ධ නොවූ බවක්‌ ත්‍රිකා නොදනී.
"ඔයාගේ හිතේ සුන්දරත්වය බිඳින්න මං ආසා වුණේ නෑ.. රන්මාලි නංගිට ඔයාට කියන්න ගොඩාක්‌ දේවල් ඉතුරු වෙලා ඇති. මං ටෙලිෆොaන් කළා නම් ඒ සේරම ඉවරයි. එයා කොහොමද?
මම කිසිත් නොකියා ඒ වෙනුවට ත්‍රිකාගේ දෑත අල්ලා සිපගත්තේ සමාවක්‌ ඉල්ලීමටය. ඇය බොහෝ අපූරු ගැහැනියකි. කෝටියකින් සොයා ගන්නට බැරි එකියකි. කෙතරම් විවෘත එකියක්‌ද? නාගරික පරිසරයේ හැදී වැඩී සල්ලි මැද ගෙවූ ජීවිතය හේතුවෙන් ත්‍රිකාගේ සිතේ ඊර්ෂ්‍යාවක්‌ නොවේ.
"මම මාමලාගේ ගෙදර වැඩි වෙලාවක්‌ උන්නේ නෑ..."
මා රන්මාලි නංගිලාගේ ගෙදර නොකියා මාමලාගේ ගෙදර යෑයි කීවේ ඇයිදැයි නොදමිනි. ඒ ත්‍රිකාට ඉතිරිය සිතා ගැනීමට විය යුතුය. මගේ රුධිරයෙහි වූ මඩගතිය නිසා ඇය ඉදිරියේ තරමක්‌ විවෘතව දෙඩීමට මට නොහැක.
"හිතපු තරම් සුන්දර නැද්ද?" ඇය ඇසුවේ මගේ අත සිර කර අල්ලමිනි. මගේ හිත මේ තරමින් කියවීම මගේ සිතට ප්‍රිය නොවූවකි. මන්ද එයින් මා බොහෝ අසීරුවට පත් වේ.
"කවදත් මට සුන්දර නෑ. හිත බිදුණාම සුන්දරත්වයත් බිඳෙනවානේ. ඔයා දන්නෑ මට සුදු හාමිනේව අඳුන ගන්නත් බැරුව ගියානේ... අර බේබද්ද එයාව විනාශ කරලා දාලා. එහෙන් දවල්ට කාලා ඇවිදින් සර්කිට්‌ එකේ නිදා ගත්තා. මාමාගේ ඈඩියාව අහන්නත් මට ඒ තරම් කැමැත්තක්‌ තිබුණේ නෑ. කුඹුරේ වැඩවලට මාව ඉල්ලපු මනුස්‌සයානේ. මං ඉගෙන ගත්තේ මොකටද අහපු මනුස්‌සයානේ...
"ඊට පස්‌සේ..."
මට හීන්දාඩිය දාගෙන ආවේය. ඊට පස්‌සේ සිදුවූ දේ ත්‍රිකාට මොනම විදියකටවත් කිව නොහැක. එහෙත් ඇය ඊට පස්‌සේ යෑයි ඇසුවේ ඒ සියල්ලද දන්නා ලෙසින් ද යන්න මට ගැටලුqවක්‌ විය.
"ඔයා බලන්න ගිය රන්මාලි උන්නේ නැද්ද?"
"දැන් ඉන්නේ හැට පැනපු ගෑනියෙක්‌. දුප්පත්කම හරි පුදුම දෙයක්‌ කියලත් මට හිතුණා. වෙලාවට මට හිතෙනවා මිනිස්‌සුන්ට නිකනුයි බේත් දෙන්න ඕනේ කියලා. ඔය දුප්පත් මිනිස්‌සු අපිට සල්ලි ගෙවන්නේ කෝමද?"
"දැන් දෝණියන්දෙක්‌ ඉන්න තාත්තා කෙනෙක්‌. ඒ හින්දා සල්ලි නැතුව බේත් දෙන්න ඔයාට පුළුවන් කමක්‌ නෑ."
මම නිහඬවීමි. මගේ සිතිවිලි ක්‍රියාත්මක කිරීමට ඇය මට ඉඩ නොදේ. මන්ද ඇය ඉපිද ඇත්තේ මුදල් ඉපයීමට මූලිකත්වය දෙන පවුලකය. එය එක්‌තරා අන්දමකින් සිරගතවීමකි. මට නිදහසේ සිතන්නට උවමනා යෑයි සිතේ.
"එක අතකින් එහෙම වෙච්ච එකත් හොඳයි. මම ආසා නෑ ඔයා රන්මාලි ගැන හිතනවාටවත්. මාත් ගෑනියෙක්‌. මටත් දැන් දරුවෙක්‌ ඉන්නවා. මට ඔයාට ඒ හැම දෙයක්‌ ගැනම හිතන්න ඉඩදීපු කාලේ ඊයේන්a ඉවරයි. මාත් මගේ දඟකාරකම් අමතක කරනවා. මං දැන් අම්මා කෙනෙක්‌. ඔයා තාත්තා කෙනෙක්‌. ඔයාගේ හිත ඇතුළෙන් රන්මාලි යන්න ඕන. මායි අපේ දූයි ඉන්න ඕනේ. ඒකමයි මං ඔයාව දූ ඉපදෙන්න කළින් එහේ ඇරියේ..."
ඇය දිගු සුසුමක්‌ හෙළුවාය. මට ප්‍රබල හුදකලාවක්‌ දැනුණි. කාත් කවුරුවත් නැති විදියක්‌ හැඟුණි. මා ඉන්නේ ත්‍රිකාගේ අත්අඩංගුවේදැයි මට සිතුණි.
මට සිහිපත් වූයේ පූර්විය. ඇය මේ තරමින් බරපතලව ජීවිතය ගැන නොසිතන්නීය. එමෙන්ම රන්මාලිගේ රුව සහමුලින්ම ඇත්තේ පූර්විට බව ත්‍රිකා නොදනී. එසේ වී නම් ඇයට මෙම සැනසීම නොවේ.

ලබන සතියේ තවත් කොටසක්‌