featu.gif (545 bytes)
බුලත් මිත්‍රත්වයේ සහ සශ්‍රීකත්වයේ සංකේතය වූණේ කොහොමද?

සිංහල බෞද්ධ චාරිත්‍ර අතර බුලත් කොළයට හිමිවන්නේ සුවිශේෂ ස්‌ථානයක්‌.

බුලත් දීම මිත්‍රත්වය සංකේතවත් කිරීම සඳහා ද ගෞරව භක්‌තිය හෙළි කිරීම සඳහා ද, පිළිගැනීම් ආදී සුබ ක්‍රියා සඳහා ද සමාජය තුළ භාවිතයට ගැනේ.

බුලත් කොළය සශ්‍රිකත්වය කියාපාන තවත් ලකුණකි. බත-බුලතින් සම්පූර්ණවීම භෞතික, අධ්‍යාත්මික අංශවලින් පරිපූර්ණ වීම ලෙස දැක්‌විය හැකියි.

සිංහල ජන සමාජය තුළ පවතින සමාජ සම්බන්ධතාවය බුලත් කොළය මගින් තව තවත් තීව්‍රවේ.

ජීවිතයේ සුවිශේෂ අවස්‌ථාවකි විවාහ මංගල්‍යය. ඒ සඳහා කෙනෙකුට ආරාධනා කරන්නේ බුලත් දීමෙනි. ඒ අනුව විවාහ නැකත් පත්‍රයක මුලටම එන්නේ බුලත් දීමේ නැකත යි. එසේම සෑම සුබ කටයුත්තකදීම බුලත් දීමෙන් ආරම්භ කීරීම සිංහල ජන සමාජයේ දක්‌නට ලැබෙයි.

බුලත් කොළය පිළිබඳව පවතින ජනප්‍රවාද හා ජන විශ්වාස ද වෙයි. වර්තමානයේ පිළිගැනීම වන්නේ "නාග ලොවින්" බුලත් මොලොවට ගෙනා බවයි.

නාගයකු නාලොවින් බුලත් කොළය දෙකොනින් අල්ලා ගෙන එන ලදැයි ද එකී විශ්වාස අතර පවතියි. බුලත් කෑම ප්‍රථම බුලත් කොළයේ දෙකොන කඩා දමන්නේ නාග විෂ නැතිවීම සඳහාය. බුලත් කන කෙනෙක්‌ බුලත් කොළයේ දෙකොන නොකඩා කෑමට ගැනීමෙන් සමාජයේ වරදක්‌ කළා ලෙස සලකනු ලබයි. එයට හේතුව සම්ප්‍රදාය තුළ පවතින විශ්වාස කැඩීමක්‌ බවට පත්වන නිසා ය.

බුලත් කොළය "විෂබීජ නාශකයක්‌" ලෙසද සලකයි. බුලත් වැලක්‌ නිවසක ඉඩමක තිබීම එදා සමාජය තුළ අනිවාර්ය වූවකි.

බුලත් වැලක්‌, මැස්‌සක්‌ නැති නිවසක්‌ නැති තරම්ය. බුලත් කැඩීමේදී බුලත් කඩන ක්‍රමයක්‌ද තිබේ. මෝරන ලද කොළය හා ඉතා ළපටි කොළය කඩන්නේ නැත. ඒවා දෝෂ සහිත බවට සමාජය පිළිගෙන ඇත.

බුලත් වැලක්‌ සිටුවීමට සුබ නැකත් බැලීමක්‌ සිදුවන බව බෞද්ධ චාරිත්‍රවල කියවෙයි. මේවා ඒ ඒ ප්‍රදේශ අනුව වෙනස්‌ වෙන බවද අප අමතක නොකළ යුතු ය.

බුලත් කොළයක තෙල් ගා, රත් කර තැබීම මගින් ශරීරයේ යම් යම් වේදනාවන් සමනය කළ හැකි බව ද සමාජය තුළ ඇති තවත් විශ්වාසයකි.

ගෙදරක බුලත් හෙප්පුවක්‌ අනිවාර්යයෙන්ම පවතියි. සාමාන්‍ය පුද්ගලයකුගේ කෙළ අපිරිසිදු යෑයි සැලකුවද බුලත් කෙළ පහරක්‌ එසේ අපිරිසිදු යෑයි නොසැලකේ. එයට හේතුව බුලත් කෑම සිංහල සමාජය තුළ සාමාන්‍ය සිද්ධියක්‌ වන නිසාය.

මේ අනුව පෙනෙන්නේ බුලත් කොළය හා බැඳුණු සංස්‌කෘතික හර පද්ධතියක්‌ පවතින බවයි.

මීට පෙරද බුලත් අත "සෞභාග්‍ය සංකේතයක්‌" ලෙස හදුන්වනවා.

ඒ නිසාම බුලතින් පිරි සමාජ සම්බන්ධතා රාශියක්‌ අප වටා ගෙතී ඇත. වරදක්‌ සිදු වූ විට එම වරද සමාකරනු ලබන්නේ බුලත් අතක්‌ දීමෙනි. කාලයක්‌ පැවැති කෝන්තරයක්‌ වුවද සමනය වෙයි.

බුලත් හා බැඳුණු සංස්‌කෘතික ලක්‌ෂණ තවත් රාශියක්‌ ඇත.

පැරණි සමාජය තුළ "බුලත් හෙප්පුව" සංස්‌කෘතික අලංකෘත වස්‌තු අතර ප්‍රධාන එකකි. පඩික්‌කම යන වචනය ඇති වූයේද එය නිවසකට අවශ්‍ය උපකරණයක්‌ වුයේද බුලත් කොළය නිසාය.

බුලත් හෙප්පුව මත ඇති කිල්ලෝටය අපේ සංස්‌කෘතියේ සුවිශේෂ තත්ත්වයකි. හුනු කිල්ලෝටය සම්බන්ධ ජනප්‍රවාද ප්‍රස්‌ථා පිරුළුද ඇත.

"කාගේ කාගේත් කිල්ලෝටවල හුණු තියෙනවා".

"හුණු කිල්ලෝටයක්‌ නැතිවා වගෙයි."

බුලත් අතට දුම්කොළය පැමිණියේ පසු කාලීනවය.

බුලත් කොළය හා බැඳුණු අපේ ජන සංස්‌කෘතික හර පද්ධතීන් හදුනා ගැනීමට හැකි සුවිශේෂ අවස්‌ථාවක්‌ වන්නේ ගමේ පන්සලයි. පන්සලට කෙනෙක්‌ එන්නේ බුලත් අතක්‌ අතේ ඇතිවය. බුලත් අත ගෙනෙන පිළිවෙල අනුව මිනිස්‌ සිතිවිලි හඳුනා ගත හැකිය.

මළ ගෙදරක්‌ කියන්නට මිනිසකු පැමිණෙනවිට අරගෙන එන්නේද බුලත් අතකි. ඒ තුළ සාස්‌තරයක්‌ද පවතී. බුලත් කොළය කණපිට හැරවීම මගින් කියා පාන්නේ ඔහු/ඇය තුළ ඇති අරමුණු බවයි. එය පහසුවෙන් කෙනෙකුට හදුනා ගත හැකිය.

මළ ගෙදරක තබා ඇති බුලත් හෙප්පුවේ බුලත් කණපිට නැත්නම් අනික්‌ පිට හරවා තබා ඇත්තේ එහි මුළු වටපිටාව හා නිවැසියන් දුකින් පසුවන බව දැන්වීමටය.

මේ අනුව ජීවිතයේ සෞභාග්‍යය කියාපෑමට මෙන්ම දුක්‌මුසු බව හැගවීමටද මිනිසා බුලත් කොළය භාවිතා කරන බව වටහා ගත හැකිය.

අනුරාධපුර භික්‌ෂු විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
පූජ්‍ය ගනේගම ඥාණිස්‌සර හිමි
සාකච්ඡා කළේ - සුගත් ශාන්ත මොරගහකුඹුර