story.gif (703 bytes)

BACK


වියදම් ගැන හිතන්නෙ නැතුව දුව ආයෙත්
විභාගෙ කරන්න ලැහැස්‌ති වෙන්න


02 කොටස

රන්දිරාගේ මව රැකියාව කළේ නුවරඑළිය නගරයේ පෞද්ගලික ආයතනයක ලිපිකාරිණියක්‌ ලෙසින්ය. රජයේ

රැකියාවක්‌ කළ පියා හදිසියේ හෘදයාබාධයකින් මිය ගියේ රන්දිරාට යන්තම් අවුරුදු දාහතර පිරුණු දවස්‌වලදීමය. පියා මිය යන්නත් පෙර සිටම රන්දිරාගේ මව මෙම වෘත්තියෙහි නියෑලුණාය. තම පියාගේ වියෝවීම රන්දිරාට හා ඇගේ එකම නැඟණිය වූ වත්සලාටද දරා ගැනීමට නොහැකි තරම් වේදනාවක්‌ විය. කාලයාගේ ඇවෑමෙන් දැන් ඒ දුක වියෑකී ගොසිනි. ඔවුන්ගේ තනි නොතනියට කාලයක පටන් ඔවුන් සමග ජීවත් වන "වීරසිරි මාමා" ඔවුන්ට මහත් ශක්‌තියක්‌ විය. තම මවගේ එකම සොහොයුරා වූ ඔහු පාසල් ගුරුවරයෙකි. පියාගේ වියෝවීමෙන් අහිමි වූ සෙනෙහස වීරසිරි මාමාගෙන් රන්දිරාට හා නැඟණියට එකසේ හිමි විය. අවිවාහකයෙකු වූ ඔහු මැදි වියෙහි ජීවත් වන්නෙකි. රන්දිරා හා නැඟණිය මෙන්ම ඔහු තම සොහොයුරිය වූ රන්දිරාගේ මව ද සෙනෙහසින් රැක බලා ගත්තාය. ඔහුගේ යුතුකම් ඔවුන් වෙනුවෙන් මැනවින් ඉටු කළාය.

"දුවේ... රන්දිරා..."

තම ආදරණීය මාමාගේ හඬට ඇය සවන් යොමු කළාය.

"ඇයි මාමා..."

"දුව ආයෙත් විභාගෙ කරන්න කැමති නැහැ කියලා අම්මා කියන්නේ..?"

"නැහැ... මාමා.. මට හිතෙනවා ආයෙත් විභාගෙ කළත් මට මෙච්චරවත් හොඳ ප්‍රතිඵල ගන්න ලැබෙන එකක්‌ නැහැ කියලා."

"ඇයි ඒ..."

"තවත් අම්මා දුක්‌ විඳිනවා බල බලා මට ඉගෙන ගන්න බැහැ මාමා... මට අපේ අම්මා ගැන දුකයි. එයා අපි වෙනුවෙන් හුඟාක්‌ දුක්‌ විඳිනවා. දැන් කී සැරයක්‌ නම් අසනීප වුණාද? මට ඕන දැන් ජොබ් එකක්‌ කරන්න. එතකොට අම්මට ගෙදර ඉන්න පුළුවන්නෙ. මං දැන් ඉගෙන ගත්ත හොඳටම ඇති මාමා..."

"ඔයා තාම ජොබ් කරන්න තරන් මහ ලොකු ගැහැණියක්‌ නොවෙයිනෙ. ඔයාට තවත් ඉගෙන ගන්න කාලය තියෙනවා. විය හියදම් ගැන හිතන්න ඕන නැහැ. ඒ නිසා ඔයා ආයෙත් විභාගෙ කරන්න ලෑස්‌ති වෙන්න."

තම මාමාගේ ඉල්ලීම ඉටු කරන්නට නොහැකි වෙන බව ඇය ඉඳුරාම දන්නීය. ඒ බව හැඟවීමටදෝ කකුලේ මාපටඟිල්ල කවාකාරයට එහා මෙහා යවමින් ඇය නිහඬව සිටියා ය.

"හොඳයි. ආයෙත් විභාගෙ කරන්න අකමැති නම් හොඳ කෝස්‌ එකක්‌වත් කරන්න බලන්න. දැන් කාලේ හොඳ ජොබ් එකක්‌ කරන්න උසස්‌ පෙළ විතරක්‌ මදි. ප්‍රායෝගික දැනීමක්‌ අනිවාර්යයි."

තම මාමාගේ ඒ ඔවදන්වලින් රන්දිරාට තරමක සැනසිල්ලක්‌ ගෙන එන්නට තරම් හේතු විය. ඇය එම කාරණා වෙනුවෙන් අවධානය යොමු කරන්න සිතට ගත්තාය.

සවස්‌ වනතුරුම රන්දිරා තම යෙහෙළිය වූ තරිඳිගේ පැමිණීම අපේක්‌ෂාවෙන් පසු වුව ද, "තරිඳි අක්‌කි අද එන්නේ නැහැ."

තම නැඟණිය වූ වත්සලාගේ වචනවලට ඇය අවනත වූවාය. සෙමෙන් සෙමෙන් ගේ තුළට පිවිසියද තම මිතුරිය නොපැමිණීම නිසා ඇගේ සිතට මහත් පාළුවක්‌ දැනෙන්නට විය. එහෙත් ඒ පාළුව මඟහරවා ගැනීමට වත්සලාගේ තොරතෝංචියක්‌ නැති වදන්වලට හැකි විය.

"මොකද නංගී..."

"ඔයාට පුංචි බඩුවක්‌ තියෙනවා කියන්න".

"ඒ මොකක්‌ද?"

වත්සලා වටපිට බැලුවේ මව ඔවුන් අසලට පැමිණේදෝයි සැකයෙනි.

"අක්‌කි, ඔයාට පුළුවන්ද? හෙට මාත් එක්‌ක ගමනක්‌ යන්න එන්න.."

"ඒ කොහෙද?"

"අපේ ක්‌ලාස්‌ එකේ යාළුවෙකුගේ ගෙදර.."

"ඒ ඇයි?"

"හෙට එයාගේ උපන් දිනේ.."

"අම්මගෙන් අහන්න නංගී..."

"අනේ... මට නම් බෑ.. ඔයා අහන්න... මං ඇහුවොත් එපා කියයි. ඔයා කිව්වොත් නම් යන්න දේවි."

"හරි මං හෙට උදේට අහන්නම්... හෙට හවසට නේ යන්න ඕනේ.."

"හ්ම්.."

වත්සලා තරමක්‌ අවනත වූවාය.

රන්දිරා මුළුතැන්ගෙට පිවිසුණේ රාත්‍රී කෑම පිළියෙල කිරීම සඳහා තම මවට සහය දැක්‌වීමටය. වත්සලා ද එහි වූ උස්‌ බංකුව මතහිඳ ඔවුන් කරන කියන දෑවලට දායක වුණි.

"ඔයාලා යන්න මම ඔය ටික කරන්නම්.." ඒ මවගේ සුපුරුදු වදන්ය. ඒ ඇය තම දරුවන්ට දක්‌වන සෙනෙහස නිසාමය.

"නැහැ... අම්මා.. මම අද තනියම උයන්නම්. හෙට මාමත් ගෙදර නිසා උදේටත් එක්‌කම කෑම ටිකක්‌ හදමු."

ගේ දොර සකසුරුවම, අරපිරිමැස්‌ම, පිරිසිදුකම ගැහැනියක සතුව තිබිය යුතු සුවිශේෂ ලක්‍ෂණයන්ය. මවගෙන් ලද දායාදයක්‌ සේ රන්දිරාට ඒ හැම දෙයක්‌ම එකසේ පිහිටා තිබුණි. ඔවුනගේ ගෙදර ජීවන රටාව තම ආර්ථික තත්ත්වයට ගැළපෙන අයුරින් කළමනාකරණය කර තිබුණි. මවගේ මාසික වැටුප, පියාගේ විශ්‍රාම වැටුප මෙන්ම තම මාමාගෙන් ලැබෙන උපකාරද ඔවුන්ගේ ආර්ථික තත්ත්වයට ශක්‌තියක්‌ විය.

තම ආදරණීය දියණියන් දෙදෙනා රැකබලා ගැනීම තරම් දෙයක්‌ රන්දිරාගේ මවට නොවීය. ඇය හැමවිටම තම දියණියන් දෙදෙනා වෙනුවෙන් ම කටයුතු කළාය. තම ස්‌වාමියාගේ අකල් වියෝවීම ගැන දුක්‌වුණු ඇය කිහිප වතාවක්‌ම රෝගී බවට ද පත්විණි. ඇගේ අසනීප තත්ත්වයන් පවා ඇය නොතැකුවේ දියණියන් දෙදෙනාගේ අනාගතය වෙනුවෙන් කටයුතු කිරීම උදෙසාය. ඇය ඔවුන් වෙනුවෙන් සියලු දුක්‌වේදනා දරා සිටින්නීය. එහෙත් තම දියණියන් දෙදෙනා ගැන සිතන සුබවාදී බලාපොරොත්තු පැතුම් ප්‍රාර්ථනා අනාගත කඩතුරාවෙන් වැසී ඇත්තේ කෙලෙසක විය හැකිද?

මතු සම්බන්ධයි

රන්දිරා - නුවන්ගි ලියනගේ
මාමා - කුමාර රනේපුර
හැඩගැන්වීම - රූපලාවන්‍ය ශිල්පිනි කමනි දිනූෂා දිසානායක
ඡායාරූප - නිමල් දයාරත්න