featu.gif (545 bytes)
මුස්‌ලිම් විවාහ නීතිය

ශ්‍රී ලංකාවේ සාමාන්‍යය නීතියට යටත් නොවන වෙනත් පුද්ගල නීතිවලට යටත්නොවන කණ්‌ඩායම් තුනක්‌ දක්‌නට ලැබෙනවා.

1. උඩරට නීතිය

2. තේසවලාමේ නීතිය

3. මුස්‌ලිම් නීතිය

මේ අනුව මුස්‌ලිම් නීතිය හැරුණුකොට අනික්‌ නීති කොට්‌ඨාශ දෙක ක්‍රියාත්මක වීමේදී අදාළ ප්‍රදේශවල වෙසෙන පුද්ගලයන්ට එම නීති බලපායි. මුස්‌ලිම් ජනතාව ලංකාවේ කුමන ප්‍රදේශයක ජීවත් වුවත් මුස්‌ලිම් නීති සිද්ධාන්තයන් ඒ හැමට පොදුවේ බලපාන අතර එය පිරිසිදු පුද්ගල නීතියක්‌ ලෙස හැදින්විය හැකිය.

මුස්‌ලිම්වරුන් අදහන ආගම ධර්මය වන ඉස්‌ලාම් ආගම ඔවුන්ගේ නීතිය ලෙසද සැලකේ. ඒ අනුව මුස්‌ලිම් නීතිය සුද්ධ වූ කුරානය ආශ්‍රිතව සම්පාදනය වී ඇත. ලොව පුරා ජීවත්වන මුස්‌ලිම් වරු ඉස්‌ලාම් ධර්මයට අනුව නීතිය පිළිගත්තද යම් යම් රටවල පවතින සංස්‌කෘතික අංග අනුව ඉතා සුළු වශයෙන් වෙනස්‌ව ඇති බවද දැකිය හැකියි.

ඉස්‌ලාම් නීතියට යටත්වන පුද්ගලයන් අල්ලා දෙවියන් වහන්සේගේ අනාගත වකAතෘ මොහොමඩ්තුමා පිළිගන්නා බවද සුද්ධ වූ කුරානය අල්ලා දෙවියන්ගේ ප්‍රකාශයන් සහිත බව පිළිගන්නා වූ පුද්ගලයා මුස්‌ලිම් ජාතිකයෙක්‌ වෙයි.

ලංකාවේ යටත් විජිත පාලකයන් විසින් 1801 වර්ෂයේදී මුස්‌ලිම්වරු අතර පැවැති නීති වෙනම ග්‍රන්ථාරූඩකර ඇත.

නමුත් විශේෂයෙන් මුස්‌ලිම් විවාහ හා දික්‌කසාද නීතිය 1957 අංක 13 දරණ පනතින් මුස්‌ලිම් විවාහ දික්‌කසාද සඳහා ප්‍රතිපාදන සලසා ඇත.

මුස්‌ලිම් ජාතිකයන් අතර සිදුවන විවාහයකදී වයෝ පූර්ණත්වය (වයස) ඉතාමත් තීරණාත්මක සාධකයෙකි. ලංකාවේ ක්‍රියාත්මක වන මුස්‌ලිම් නීතිය අනුව කාන්තාවක්‌ විවාහ වීම සඳහා වැඩිවියට පත්ව සිටීම ප්‍රමාණවත් ලෙස සැළකේ. එසේ වුවද වයස අවුරුදු 12 ට අඩු යුවතියක නම් ඒ වග කාති වරයාට දන්වා අවසර ලබාගත යුතුය.

කාතිවරයා යනු මුස්‌ලිම් ජාතිකයන් අතර විවාහ හා දික්‌කසාද තීරණය කිරීම සඳහා පත්කර ඇති පුද්ගලයායි.

මුස්‌ලිම් විවාහ හා දික්‌කසාද පනත අනුව ස්‌ත්‍රී පක්‌ෂයේ අයකු විවාහ වීමේදී ඇයගේ අනුමතිය වෙනුවෙන් අත්සන් කරනු ලබන්නේ ඇයගේ භාරකරුයි. එම භාරකරු වාලිවරයා ලෙස හැදින්වෙයි.

ලංකාවේ ක්‍රියාත්මකවන අනිකුත් නීති ක්‍රමවලදී යම්කිසි කෙනෙකු විවාහ විමේදී තම තමන්ගේ අනුමතිය වෙනුවෙන් තම තමන්ම අත්aසන් කරන අතර මුස්‌ලිම් නීතිය අනුව එම අවස්‌ථාව මනාලියට අහිමි වේ.

බොහෝවිට මුස්‌ලිම් ජාතික කාන්තාවකගේ වාලිවරයා නැත්නම් භාරකරු පියා හෝ වැඩිමහල් සහෝදරයාවේ.

මුස්‌ලිම් විවාහ දික්‌කසාද පනත අනුව විවාහය ලියා පදිංචි කිරීම අනිවාර්යය වුවත් චාරිත්‍රානුකූල විවාහයන්aද පිළිගැනේ. ඒ අනුව මුස්‌ලිම් ජාතිකයන් අතර සිදුවන විවාහ ලියා පදිංචි කරනු ලබන්නේ වාලිවරයා ඉදිරියේ වන අතර නිකා චාරිත්‍ර අනුව සිදුවන විවාහයන් ද පිළිගන්නා බවද යළි මතක්‌ කළ යුතුය.

නිකා චාරිත්‍ර යනු සිංහලයන් අතර සිදුවන විවාහයන් හිදී සිදුවන පෝරු චාරිත්‍ර හා සමාන චාරිත්‍රයන්ය.

එමෙන්ම මුස්‌ලිම් නීතිය අනුව මනාල පාර්ශ්වය මනාලියගේ පාර්ශවයට යම් දීමනාවක්‌ දිය යුතුය. එය මහර් ලෙස හැඳින්වේ. එම මහර් විවාහය සිදුවීමට කලින් ලබා දිය යුතුය. මන්ද එම මහර් නොලැබී ගියහොත් විවාහයට එළඹීම ප්‍රතික්‌ෂේප කළ හැකිය.

ඉස්‌ලාම් නීතියට අනුව එසේ වුවද සංස්‌කෘතික ලක්‌ෂණ අනුව සමහර අවස්‌ථාවලදී විවාහයකදී යම් යම් වෙනස්‌කම් සිදුවන බව අප ඉහත සාකච්ඡා කළෙමු. ඒ අනුව ඉන්දියාව ශ්‍රී ලංකාව වැනි රටවල මනාලියගේ පාර්ශ්වයෙන් මනාලයාට දැවෑද්ද දෙන අවස්‌ථාද තිබෙනවා. මෙය කයිකුලි නැතිනම් ස්‌ත්‍රි ධනම් ලෙස හැදින්වෙයි. ඒ කෙසේ වුවත් මහර්, කයිකුලි ස්‌ත්‍රි ධනම් පාලනය කිරීමේ අයිතිය ඇත්තේ ස්‌වාමි පුරුෂයාට ය.

විවාහ වූ මුස්‌ලිම් ජාතික කාන්තාවකට හා පුරුෂයකුට කුමන හේතුවක්‌ නිසා හෝ දික්‌කසාද වීමට අවශ්‍ය වුව හොත් ඊටද ප්‍රතිපාදන දක්‌වා ඇත.

ඒ අනුව අදාළ පාර්ශව ජීවත් වන ප්‍රදේශයේ දිසා අධිකරණයට ගොස්‌ හේතු සාධක දක්‌වා දික්‌කසාදය ලබා ගත හැකිය.

මුස්‌ලිම් විවාහ හා දික්‌කසාද පනත අනුව පුරුෂයාට සිය බිරිඳ වෛවාහක වරදක්‌ නොකළත් ඇය තමාට යුතුකම් ඉටු නොකරන්නේ යෑයි කාතිවරයා වෙත පැමිණිලි කර දික්‌කසාදය ලබාගත හැකිය.

තම සැමියාගෙන් කාන්තාවට වෙන්වීමට අවශ්‍ය නම් ඒ සඳහා ඔහු කළ වරද පිළිගත හැකි ස්‌වාධීන සාක්‌ෂි දෙකක්‌ මගින් තහවුරු කළ යුතුය. දිසා අධිකරණයකදී දික්‌කසාදයක්‌ ලබා ගන්නා සේ මෙහිදී සිදුනොවේ. කාතිවරයාගේ කාර්යභාරය සීමිත වේ.

ලංකාව තුළ ක්‍රියාත්මක වන අනිකුත් නීති වල නැති සුවිශේෂ වරප්‍රසාදයක්‌ මුස්‌ලිම් නීතියේ ඇත. එනම් බහු විවාහයි. එය පිරිමි පාර්ශවයට හිමිව ඇති සුවිශේෂි වරප්‍රසාදයකි.

ඒ අනුව මුස්‌ලිම් විවාහ හා දික්‌කසාද පනතේ සදහන් වන ආකාරයට පුරුෂයකුට විවාහ හතරක්‌ කරගත හැකියි. ඒ සඳහා කාතිවරයාගෙ අවසරය ලබාගත යුතුය. මුස්‌ලිම් කාන්තාවන්ට එම වරප්‍රසාදය අහිමි වන අතර දික්‌ කසාදයක්‌ ලබාගත් අයකුට නැවත විවාහයකට එළඹිය නොහැකිය. ඉස්‌ලාම් ජාතික පුරුෂයකු දික්‌කසාදයක්‌ ලබාගත් පසු ඔහු යළි විවාහ වන්නේ නම් දික්‌කසාදය අන් ස්‌ත්‍රියට මාස 04 යි දින 10 ක කාලයක්‌ දිය යුතුය. ඒ ඔහු අතින් ඇය ගැබ්ගෙන ඇද්දැයි දැන ගැනීමටයි. මෙම කාලය මුස්‌ලිම් නීතියට අනුව "ඉද්ධා" ලෙස හැදින්වෙයි. ඉද්ධා කාලයෙන් පසු ඔහුට විවාහ විය හැකිය.

ඒ අනුව දික්‌ කසාද වු කාන්තාවට මුලින් ඇයට දී තිබූ මහර්, කයිකුලි ආදිය නිසි ලෙස ලබාදිය යුතුය.

අප මුලින් සඳහන් කළ ආකාරයට ලෝකය පුරා මුස්‌ලිම් ජාතිකයන් ව්‍යාප්තව සිටින අතර ඔවුන් කොටස්‌ දෙකකට බෙදා දක්‌වා ඇත. ඒ අනුව සුන්නි හා ෂියා යනුවෙන් හැදින්වෙන අතර ලංකාවේ සිටින්නේ බහුතර මුස්‌ලිම් ජනයා සුන්නි නිකායේ ශාපි කොටසට අයත්වේ.

මුස්‌ලිම් ජාතිකයන්ට බහු විවාහ අනුමත කොට ඇති නිසා සමහර සාමාන්‍ය නීතියට අයත්ව සිටින පුද්ගලයන් ඉස්‌ලාම් ආගම වැළඳගෙන බහු විවාහයන් සිදුකර ගනී. ඒ හෙයින් එම තත්ත්වය අධිකරණය මගින් අපහසු කර ඇත.

නීතිඥ නාමල් රාජපක්‌ෂ
සාකච්ඡා කළේ - සුගත් ශාන්ත මොරගහකුඹුර