artword.gif (531 bytes)
මගේ කලා ජීවිතයේ ආරම්භය
මව්කුස තුළදීමයි

ශ්‍රියානි අමරසේන


 

මුව රැඳුනු සිනහව නෙත පැහැර ගනී. ආදරණීය කතාව හද බැඳ ගනී. මතක ඇති කාලයක පටන් ඇගේ කතාවත්, සිනහවත් ඒ විදියම යි. ශ්‍රීයානි අමරසේන නම් වූ මේ සුන්දර කාන්තාව හමුවීමට අප ඇයගේ නිවසට ගියේ බොහෝ දිනකින් මේ සුන්දර සිනහව දකින්නට නොලැබුණු නිසාත්, ඔබ වෙනුවෙන් ඇයගේ තොරතුරු බිඳක්‌ දැන ගැනීම සඳහාත් ය.

මොකක්‌ද මේ කලාවත් එක්‌ක මේ තරම්ම තියෙන බැඳීම?

මං හිතන්නේ, මං අම්මාගේ කුස තුළ ඉඳිද්දීමයි. කලාවට ඇළුම් කළේ. මගේ අම්මයි, තාත්තයි මං ලැබෙන්න ඉන්න කාලෙත් නාට්‍ය, චිත්‍රපට, ඒ දවස්‌වල ටීටර් බලන්න ගියාලු. ඒ කිසිම අවස්‌ථාවකදී මං කුසේ ඉඳලා අම්මාව අපහසුතාවයට පත් කළේ නැහැලු. මං හිතන්නේ අම්මාගේ කුසේ ඉඳලා මමත් ඒවා බලන්න ඇති. මං පවුලේ එකම දරුවා. අවුරුදු හතක්‌ මං අම්මාගෙන් කිරි බිව්වා. මං අත දරුවෙක්‌ කාලෙත් මාව අරගෙන අම්මා චිත්‍රපට බලන්න යනවාලු. මං වද දීලා නෑ. බඩගිනි වුණාම කිරි බීලා, මං එහෙමම නිදා ගන්නවලු. මං හිතන්නේ ඕක තමයි මගේ කලා ජීවිතයේ ආරම්භ ය. යන්තම් තේරෙන කාලෙදී මේ මොකක්‌ද කියලා මට නොතේරුනත් මං හරි ආසාවෙන් ඒවා බැලුවා.

පාසලේදීත් මං ප්‍රිය කළේ කලාවට, චිත්‍ර, සංගීතය බටහිර සංගීතය වගේ විෂයයන්ට. සිංහල සාහිත්‍යයට හරිම කැමතියි. අපිට උගන්වපු ගුරුවරිය අපිව ඒ දර්ශන තලවලට ගෙනිච්චා. සැලලිහිණි සංදේශය කියලා දෙනකොට අපිත් සැලලිහිනියා එක්‌ක ඒ තැන්වලට ගියා. මීතොටමුල්ලේ අපේ ගමේ සිරි අයියා හිටියේ. එයා මාව ගුවන් විදුලියේ ළමා පිටියට සම්බන්ධ කළා. පාසලේ දේවල්වලට බාහිරව කලාවට සම්බන්ධ වුණේ ගුවන් විදුලියේ ළමා පිටියට. මම එතකොට ගමේ පාසලට ගියේ. එතනින් මියුසියස්‌ විද්‍යාලයට ගියහම මං කලා අංශයෙන් කැපී පෙනෙන ශිෂ්‍යාවක්‌ වුණා. මියුසියස්‌ එකේදී මාව හැඳින්වුවේ කොණ්‌ඩෙ දිග ළමයා කියලා. මට දිග කොණ්‌ඩයක්‌ තිබුණා. ඊට පස්‌සේ මං ගෝතමි බාලිකාවට ආවා. උසස්‌ පෙළ කරන්න. ගෝතමි එකේ ඉගෙන ගන්න කාලෙදී තමයි මම නරි බෑනා. නාට්‍යයට සම්බන්ධ වුණේ. ඒකත් අහම්බෙන් ලැබුණ අවස්‌ථාවක්‌. දයානන්ද ගුණවර්ධන මහත්තයා මට ගෙදරටම ඇවිත් කතා කළා. ඊට පස්‌සේ මං චිත්‍රපටවලට සම්බන්ධ වෙනකොට මගේ දුව ඉනෝකත් මට ලැබිලා. දුවට අවුරුදු එකහමාරයි මං ගොළු හදවත චිත්‍රපටයට සම්බන්ධ වෙනකොට. ඒ ඇරඹුන ගමන මේ වෙනකොට චිත්‍රපට 110 -115ක්‌ විතර වෙනකල් රඟපෑවා.

දැන් ඒ ගමන නවත්වලා, නිශ්ශබ්ද වෙලාද?

මම නිශ්ශබ්දයිද? මේ දවස්‌වල මම අධ්‍යක්‌ෂණය කරපු සිවුපත් රෑන ටෙලි නාට්‍යය දෙරණ නාලිකාවේ විකාශය වෙනවා. නමුත් මම ඒකේ රඟපාන්නේ නෑ. ඊට කලිනුත් අධ්‍යක්‌ෂණය කළ නාට්‍ය කීපයකම රඟපෑවේ නෑ. ඒ හින්දා මාව පෙනෙන එක අඩුවෙන්න ඇති. නමුත් මං කලාවට සම්බන්ධ නොවී හිsටියේ නෑ. අධ්‍යක්‌ෂණයෙන්, නිෂ්පාදනයෙන්, තිරපිටපත් රචනයෙන් වගේ බොහෝ අංශවලට මම දායක වුණා. චිත්‍රපට තුළින් නම් මාව කාලෙකින් දකින්න ලැබුණේ නෑ තමයි. අනුරුද්ධ ජයසිංහගේ බෝම්බ සහ රෝස කියන චිත්‍රපටය තමයි දැනට ප්‍රදර්ශනය වීමට තියෙන්නේ.

කලාවෙන් මිනිස්‌සු ඈත් වෙලාද?

මෙහෙමයි. හොඳ රසයක්‌ තියන කලා නිර්මාණ අපි ප්‍රේක්‌ෂකයාට දෙන්න ඕන. එහෙම නැතිව ප්‍රේක්‌ෂකයාට දොස්‌ කියන්න බෑ. අපි දෙන නිර්මාණය රසවත් නම් ඔවුන් ඒ දේ වැළඳ ගන්නවා. කලාවෙන් කළ යුත්තේ ජනයා පිනවීමයි. සිත තුළ සැහැල්ලුවක්‌, සතුටක්‌ ඇති කරන්න කලාවට පුළුවන්.

කලාවෙන් දේශපාලන තීන්දු ගන්නත් පුළුවන් නේද?

මම හිතුවා. ඊළඟට ඔබ අහවි කියලා මම දේශපාලන වේදිකාවේ දැක්‌කෙ නැත්තේ ඇයි කියලා. ඇත්තටම මගේ මතය, පිළිගැනීම මම ඉන්නේ කලාකාරියක්‌ විදියට මහජනතාව එක්‌ක. ඔවුන් නිසයි කලාවේ මේ තරම් දුරක්‌ අපි ඇවිත් ඉන්නේ. ඔවුන්ගේ ආදරය නිසයි මම තවමත් මෙතැන රැඳෙන්නේ. ඒ මහජනතාව අතර දේශපාලන වශයෙන් විවිධ මත දරන අය ඉන්නවා දේශපාලන වේදිකාවකට නැගලා මේ හැමදේම මම වෙනස්‌ කරන්න උත්සාහ කළොත් ඒක මම, මට කරගන්න හානියක්‌. මම රට ගැන හොඳ අවධානයෙන් ඉන්නේ. රටේ දියුණුව ගැන හිතනවා. රට දියුණු වුණොත් තමයි කලාවත් දියුණු වෙන්නේ. දේශපාලන වේදිකාව මං බැහැර කළේ ඒ සිතුවිල්ල උඩයි. නමුත් මගේ ඡන්දය, මං කැමති කෙනෙකුට ලබා දීලා මගේ යුතුකම ඉටුකරනවා.

කලා ලෝකයෙන් බැහැරව ශ්‍රියානි අමරසේන හිතන්නේ මොනවද?

කලා ලෝකයෙන් බැහැරව මම හිතන දෙයක්‌ තමයි කාන්තාවගේ අයිතිය ගැන. අපේ රටේ සංස්‌කෘතිය අනුවයි කාන්තාවන්ට තියන ගැටලු, ප්‍රශ්න මේ හැමදේම ගැන අපි හිතන්නේ. එක වෙලාවකට මට හිතෙනවා අපේ කාන්තාවෝ, වාසනාවන්තයි කියලා, අපේ පවුලක සමීපතාවය රැඳිලා තිබෙන්නේ කාන්තාව නිසා, මව, තමාගේ පවුලේ බැඳීම ආරක්‌ෂා කරගන්න ඕන.

ඇය ඉවසිලිවන්ත වෙන්න ඕන. ආචාරශීලි වෙන්න ඕන. ස්‌ත්‍රිත්වයේ ගෞරවය ආරක්‌ෂා කරගන්න ඕන. තමන් ශක්‌තිමත් වෙන්න. ශක්‌තිමත් කාන්තාවට ජීවිතයේ ගැටලුවලට මුහුණදෙන්න පුළුවන්.

විනෝදාංශ එහෙම තියෙනවද?

ඔව්. මං පුංචි කාලේ ඉඳල පොත් කියවන්න කැමතියි. චිත්‍රපට නාට්‍ය බලන්න කැමතියි. විනෝද ගමන් යන්නත් මං හරිම කැමතියි. පොඩි කාලේ ඉඳලා තිබුණ හීනයක්‌ විදේශ සංචාරවල යැම.

ඔබගේ පෞද්ගලික තොරතුරු ටිකක්‌ දැනගන්න කැමතියි.

මගේ තාත්තා දැන් ජීවතුන් අතර නෑ. අම්මාට දැන් වයස අවුරුදු 95 ක්‌. අම්මා මා ළඟ ඉන්නේ. මගේ දුව ඉනෝකා, එයාගේ දුව මනාෂා එක්‌ක සිංගප්පූරුවේ ඉන්නේ. මනාෂා එහේ එයාගේ විශ්වවිද්‍යාල කටයුතු කරනවා. මගේ මහත්තයා (ආතර් යු. අමරසේන) ගෙදරට වෙලා එයාගේ ලේඛන කටයුතු කරගෙන යනවා. පුතා සම්පත් අපේ ගේ ළඟම ගෙදරක එයාගේ බිරිඳ දමයන්ති එක්‌ක ඉන්නවා. ඕක තමයි අපේ පුංචි පවුල. මට ජීවිතයේ ලොකු බලාපොරොත්තු නෑ. නමුත් මට ආසාවක්‌ තියෙනවා හොඳ චිත්‍රපටයක්‌ කරන්න. ඒ වගේම වේදිකා නාට්‍ය ගණනාවක මං රඟපෑවා. ඒ හැම චරිතයක්‌ම වගේ මගේ හිතේ රැඳිලා තියෙනවා. නමුත් ආසාවක්‌ තියනවා වේදිකා නාට්‍යයක හොඳ චරිතයක්‌ කරන්න. කොහොම වුණත් අපි අපට ලැබෙන දේ ගැන සතුටින් ඉන්න ඕන. මම ජීවත් වෙන්නේ එහෙමයි.

චාමරි බණ්‌ඩාර