featu.gif (545 bytes)
රිඡ්වේ ආර්යා ළමා රෝහලේ ඔබ නොදුටු පැත්තක්‌
 


විශේෂඥ වෛද්‍ය ජීවනී සරත්චන්ද්‍ර


හෙදි සොයුරිය සෙව්වන්දි අමරවර්ධන

තුන්වන වාටිටුවේ අපදුටු විශේෂයක්‌..........

මෙරට නිරෝගීමත් දරු පරපුරක්‌ ඇතිකිරීම සඳහා කොළඹ 08 ලේඩි රිඡ්වේ ආර්යා ළමා රෝහල වෙතින් සිදුවන කාර්යභාරය සුළුපටු නොවේ. විවිධාකාර ළමා රෝග සඳහා ප්‍රතිකාර කරන මෙම රෝහලේ තුන්වන වාට්‌ටුවට අප පසුගියදා ඔබ වෙනුවෙන් සටහනක්‌ තබන්නට ගොඩ වුණා.

ළමා රෝහලේ තුන්වන වාට්‌ටුවට ගොඩ වීමට ඇති පඩිපෙළ නගිද්දී අපට ඇසුනේ පොඩි දරුවන්ගේ හැඩීමය. එපා..එපා රිදෙනවා. කියමින් දරුවකු හැඬුවේ එන්නතක්‌ ලබා දෙද්දීය.

නිතර සිනහමුසු මුහුණින් දුව පැන නටන දරුවකු දකිද්දී අපගේ සිතට නැගෙන සතුට කොතරම්ද? එහෙත් ඒ සතුට දරුවෙකු ලෙඩ වී පසකට වී සිටින විට අපට දැනේද?

බොහෝවිට දරුවන් ලෙඩ වෙන්නේ වැඩිහිටි අපගේ නොසලකිල්ල නිසාය. නිරෝගී දරුවකු එක තැනක සිරකර තබා ගත නොහැකියි. සහජයෙන්ම ඔවුන් දුවපැන නටයි. කුණු දූවිලි තැවරා ගනියි. ඒ දරුවන්ගේ හැටිය. දරුවන් සෙල්ලම් කර අහවර වූ පසු හොදින් සෝදා පිරිසිදු කිරීම විශේෂයෙන්ම අම්මලාගේ වගකීමය. යුතුකමය. දරුවන් පිරිසිදුව සිටින පමණටම ඔවුන් නිරෝගීමත්ය. එහෙත් දරුවන් පිරිසිදුව තබා ගැනීමටයෑයි කියා සෙල්ලම් කිරීම තහනම් නොකළ යුතුයි.

ඒ කොහොම වුණත් අප ළමා රෝහලේ තුන්වන වාට්‌ටුවට ඇතුල් වීමේදී පළමුවෙන්ම අපගේ සිත ඇදි ගියේ එහි පිරිසිදුකම ගැනය.

දරුවන් හැත්තෑවක්‌ හා අම්මලා හැත්තෑවක්‌ පමණ දෙනා පරිහරණය කරන වැසිකිළි කැසිකිළි ඉතා පිරිසිදුය. වාට්‌ටුව වට පිටාවද ඒ ලෙසමය.සිත් ඇදගන්නා සුළුය. සැබැවින්ම මෙම වාට්‌ටුව පිරිසිදු කරන කම්කරු පිරිසට අපි ස්‌තුතිවන්ත වෙමු. ඒ සඳහා ඔවුන්ව දිරිමත් කරන කාර්ය මණ්‌ඩලයටද අපි ස්‌තුතිවන්ත වෙමු.

මෙම වාට්‌ටුව භාර ළමා රෝග විශේෂඥ වෛද්‍යවරිය වන්නේ ජීවනී සරත්චන්ද්‍ර මහත්මියයි. ඇය අපගේ පුවත්පත ඔස්‌සේ ළමා රෝග පිළිබඳව මව්වරු දැනුවත් කිරීමේ කටයුතුවලට ද සහය දෙයි. විශේෂඥ වෛද්‍යවරිය සමග තවත් වෛද්‍යවරු නව දෙනකු මෙම වාට්‌ටුව තුළදී රෝගී දරුවන් සුවපත් කිරීමේ කටයුතුවලට දායක වී සිටියි.

ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි වෛද්‍ය සුරන්ත පෙරේරා, වෛද්‍ය දර්ශනි, ලේඛකාධිකාරි, වෛද්‍ය සුසන්ත රත්නායක, වෛද්‍ය චින්තක රාජපක්‌ෂ වෛද්‍ය තිලංකා සෙනවිරත්න, වෛද්‍ය ජානක නේවාසික වෛද්‍ය කවිතා පද්මදාස්‌, වෛද්‍ය ඉන්දීවරී පෝද්දල්ගොඩ, වෛද්‍ය ප්‍රියන්ත දිසානායක ඒ අතර වෙයි.

මෙම වාට්‌ටුවේ ප්‍රතිකාර ලබන දරුවන් අතර ඩෙංගු උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්‌ස ඇතුළු විවිධ රෝග ඇති දරුවන් සිටින අතර ඔවුන්ට ඉතාම ඉහළ වෛද්‍ය ප්‍රතිකාර දීම සිදු කෙරේ.

සෑම දරුවෙකුම පැය භාගයකට වරක්‌ පැය දෙකකට වරක්‌ වෛද්‍ය වරයෙකුගේ පරීක්‌ෂාවට ලක්‌වෙයි.

පසුගිය කාලයේ විවිධ වසංගත රෝග පැතිර ගිය අතර ළමයින්ද විශාල සංඛ්‍යාවක්‌ ඊට ගොදුරු වූ බව නොරහසක්‌.

බොහෝ දෙමාපියන් දරුවකුට අසනීප වූ විට පෞද්ගලික රෝහල් කරා ගෙන යන්නේ උසස්‌ ප්‍රතිකාර ලබා ගැනීමටයි. එහෙත් එය එක්‌තරා ආකාරයක විලාසිතාවක්‌ පමණි. එම දරුවාට අසනීපය උග්‍ර වූ විට දෙමාපියන් යළි දරුවා ළමා රෝහල වෙත ගෙන එන්නේ හඬා වැටෙමිනි.

පසුගිය කාලයේ ඒ ආකාරයට ඩෙංගු උණ වැළදුනු දරුවන් රැසක්‌ ළමා රෝහලට ගෙනා බවත් අන්තිම මොහොතේ දරුවන් රෝහලට ගෙන ඒමේදී ප්‍රතිකාර ලබාදීම දුෂ්කර බවත් විශේෂඥ වෛද්‍ය ජීවනී සරත්චන්ද්‍ර මහත්මිය අප සමඟ පැවැසුවා.

ඇත්තටම දෙමාපියන් බොහෝවිට දරුවන් පෞද්ගලික රෝහල් කරා ගෙනියන්නෙ රජයේ රෝහල තුළ ඇති අපිරිසිදු කම නිසා කියලයි කියන්නේ. එය වැරැදි ප්‍රකාශයක්‌ බව දැන් අපි කියනවා. රජයේ රෝහල් ඉතාම පිරිසිදුයි.

ළමා රෝහල තුළදී විශේෂඥ වෛද්‍යවරුන්

රැසකගේ පරික්‌ෂාවට රෝගී දරුවකු ලක්‌ වෙනවා. ඒ නිසා ඉතා ඉක්‌මනින් රෝගය හදුනා ගෙන ප්‍රතිකාර ලබාදිය හැකියි.

රෝහලේ පිරිසිදුකම අපිට එහි තුන්වන වාට්‌ටුවෙන්ම පැහැදිලි විය. ළමා රෝහලේ තුන්වන වාට්‌ටුවේ හෙදි සොයුරිය වන්නේ සෙව්වන්දි අමරවර්ධනයි. ඇය සමඟ හෙද නිලධාරිනියන්වන නිලුකා කුමාරි, රත්න කුමාරි, රජිතා මුණසිංහ, අසුන්තා රණසිංහ, ගයනි විඡේරත්න දිල්රුක්‌ෂි තිලකරත්න, නිල්මිණි දිසානායක, සුරංගි අතුකෝරළ, පී.ජී නදිකා විශාල කාර්ය භාරයක්‌ ඉටුකරයි. එමෙන්ම කනිෂ්ඨ සේවක මණ්‌ඩලය වන මාලිනි, චන්ද්‍රලතා, චන්ද්‍රකාන්ති ටී.එන්. මර්වින් ගෙන්ද ඉටුවන සේවය සුළුපටු නොවේ. එමෙන්ම සනීප ආරක්‌ෂක කටයුතුවල නියලෙන එච් සිරියාවතී හා අනුර ගේ කාර්යභාරයද අගයකළ යුතුය.

මෙම වාට්‌ටුවට ඇතුළු වන දරුවන්ට ක්‍රීඩා කිරීම සඳහා විශේෂ සෙල්ලම් කාමරයක්‌ද ඇති අතර එය නවීනතම ක්‍රීඩා භාණ්‌ඩවලින් සමන්විතයි. එමෙන්ම දරුවන්ට පොත්පත් කියවීම සඳහා කුඩා පුස්‌තකාලයක්‌ද ඇත. මේ සියල්ල පරිත්‍යාග ශීලී පුද්ගලයන්ගේ උදව් උපකාරයෙන් පවත්වාගෙන යන බව දැන ගන්නට ලැබුණු අතර වාට්‌ටුව තුළද තීන්ත ආලේප කිරීම, මෙන්ම අත්‍යවශ්‍ය භාණ්‌ඩ

රැසක්‌ද පරිත්‍යාගශීලීන් ලබා දී ඇත.

පෞද්ගලික රෝහල් තුළ විශාල මුදල් ගෙවා ගණු ලබන ප්‍රතිකාර ළමා රෝහල තුළ නොමිලේම ලබා ගත හැකි එහෙයින් දෙමාපියන් තම රෝගී දරුවා සුවපත් කරගෙන නිවසට කැඳවා ගෙන යද්දීZ මෙම පරිත්‍යාග සිදුකර ඇත.

සමහර දරුවන්ට දින ගණනාවක්‌ රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නට සිදුවෙනවා. ඒ කාලය තුළ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වෙනවා. විශේෂයෙන් පෙර පාසල්වියේ දරුවන් උදෙසා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සහය විය හැකි ස්‌වෙච්ඡා පෙර පාසැල් ගුරුවරියකගේ සහය මෙම වාට්‌ටුවට ලැබෙන්නේ නම් එම වාට්‌ටුවේ කාර්ය මණ්‌ඩලය ගන්නා උත්සාහයට තවත් සාර්ථක ප්‍රතිඵල එක්‌වෙනු ඇති.

අපි ළමා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන්ගේ මව්වරුන් කිහිප දෙනෙකු සමඟම කතාබහ කළා. මාලඹේ ෙච්තනි, කදානේ රසිකා දිල්හානි, ජාඇල ප්‍රියදර්ශනි පෙරේරා මේ සියලුම දෙනාගේ පැසසුම් ලැබුණේ වාට්‌ටුව තුළ ඇති පිරිසිදු කම හා වෛද්‍ය කාර්ය මණ්‌ඩලයේ හා හෙදි නිලධාරිනියන්ගේ කාර්යක්‌ෂතම සේවය පිළිබඳවයි.

මොනතරම් හොදින් ප්‍රතිකාර ලබාදුන්නත් වෛද්‍ය කාර්යමණ්‌ඩලය, හෙදි කාර්ය මණ්‌ඩලය පැසසුම් ලබනවා අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. එහෙත් ළමා රෝහලේ තුන්වන වාට්‌ටුවේ කාර්ය මණ්‌ඩලය පැසසුම් ලබන අයුරු අපිට දකින්නට අසන්නට ලැබුණා.

එම වාට්‌ටුවේ ඇති අඩුපාඩු මෙන්ම යෝජනා චෝදනා ඉදිරිපත් කිරීමට පැමිණිලි පෙට්‌ටියක්‌ද තබා ඇත. එයට ඕනෑම කෙනෙකුට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කළ හැකි අතර එම පැමිණිලි පිළිබඳව විභාග පැවැත්වීමට හා පිළියම් යෙදීමට ළමා රෝග විශේෂඥ වෛද්‍ය ජීවනි සරත්චන්ද්‍ර මහත්මිය කටයුතු කරයි. සමස්‌ථයක්‌ ලෙස එම කාර්ය මණ්‌ඩලය මේ ජයග්‍රහණය ලබාගෙන ඇත්තේ කණ්‌ඩායම් හැගීමෙන් කටයුතු කිරීම නිසාවෙනි. ඒ හෙයින් එම රෝහලේ ප්‍රතිකාර ලබන්නට යන්නන්ද ඔවුන්ගේ කාර්ය ඉටුකිරීමට සහය දිය යුතුය.

සටහන - සුගත් ශාන්ත මොරගහකුඹුර පින්තූර - නිශාන් එස්‌. ප්‍රියන්ත