featu.gif (545 bytes)
"තපස"

ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික ස්‌වාමින්වහන්සේ

"දුඟඳ හමන මලක්‌ සේ කිඩාරම්,
කුමට ඉපදුනිද මිනිසුනේ"

තපස හෙවත් ඉන්ද්‍රිය සංවරය සහ වීර්යය උතුම් මංගල කරුණක්‌ ලෙස මංගල සූත්‍රයෙහි පැහැදිලි කරයි. "පාපකේ ධම්මේ තපතීත තපෝ" ලෙස විස්‌තර කරන පරිදි යම් ධර්මයක්‌ හේතු කොට ගෙන පාපයන් නැති කෙරේද, එම ධර්ම තප නමි. මෙහිදී පාපයන් නැති කරන ධර්ම නම් ඉන්ද්‍රිය දමනය සහ වීර්යයි.

තපස නම් වූ වචනය මතකයට නැඟෙන්නේ පැවිදි වූ උතුමෙකුගේ චරිතය සමගය. සැබැවින්ම එවැනි පැවිදි උතුමෙකුගේ චරිතය සහ ඇවතුම් පැවතුම් ගැන මෙනෙහි කරන්න. එම පැවිදි උතුමකුගේ වචනවලද හැසිරීම් රටාවේද පවත්නා තැන්පත් බව දකින්නාගේ සිත්හි හට ගන්නේ ද මහත් ප්‍රසාදයකි. කවර නම් නොසන්සුන් පරිසරයකදී වුව ද, එවැනි උතුමෙකුගේ වචනය හෝ ක්‍රියාවන් නොසන්සුන් වන්නේ නැත. එයට හේතුව නම් දමනය වූ සිතක්‌ ද පැවතීමය. කාමභෝගී ගෘහස්‌ථ ජීවිතයක්‌ ගත කරන අයකුගේ වුව ද, ඉන්ද්‍රියන්හි සංවර වීමක්‌ අවශ්‍යයය.

එසේ නොමැති වුවොත්, තිරිසන් සතුන් බවට පත් විය හැකිය. "ආහාර නිද්‍රd භය මෛථුනම් ච" යයි පැවසූ පරිදි, ආහාර ගැනීම, නිදා ගැනීම, බිය සහ වර්ගයා බෝ කිරීම තිරිසන් සතුන් ආදී සියලු සතුන්ට පොදු කරුණුය. මනුෂ්‍යයන් එයට වඩා සිතීමේ ශක්‌තියකින් යුක්‌තය. හොඳ-නරක, කුසල් - අකුසල්, පව්-පිං, ශිෂ්ඨ - අශිෂ්ඨ ස්‌වභාවය මැනවින් සිතන සහ අනුගමනය කරන පිරිසකි. ස්‌වාමීන් වහන්සේ අනුශාසනා කරන මෙම අදහස නිවැරදි දැයි ඔබම කියන්න. කුඩා කල සමහර තිරිසන් සත්තු මවගෙන් කිරි උරා බොති. මවු තුරුලේ උණුසුම ලබති. එනමුත් ලොකු මහත්වන විට එම සතුන්ගේ අම්මා යයි විශේෂ සැළකීමක්‌ නැත. මනුෂ්‍යයන් මෙන් සොහොයුරු - සොහොයුරියන් යනුවෙන් තැකීමක්‌ ද නැත. ආවේග ඉදිරියේ ඉන්ද්‍රිය පාලනයකින් තොරව හැසිරෙති. එනමුත් මනුෂ්‍යයෝ කෙතරම් නම් ශිෂ්ඨ සම්පන්නද? ගුණවන්ත දරුවකුට "අම්මා" නම් වූ වචනය කොපමණ නම් සුපසන් වචනයක්‌ වන්නේද? බුදු දහමේ ඉහළම ස්‌ථානයක්‌ අම්මා වෙනුවෙන් ලබා දී තිබේ. ඒ මෙසේය. "බුද්ධෝ විය මාතා, මාතා විය බුද්ධෝ" අම්මා බුදුරජාණන් වහන්සේ බඳුය. බුදුරජාණන් වහන්සේ අම්මා බඳුය යනුවෙනි."

තපස නම් ඉන්ද්‍රිය සංවරයයි. ඉන්ද්‍රිය සංවරයට බාධා කරන අභිඡ්Cධා නම් වූ විෂම වූ ලෝභයත්, ව්‍යාපාදයත් බැහැර කිරීමයි. එනම් තරහාව, ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව ආදී අකුසල ධර්ම පාලනය කිරීම සහ බැහැර කිරීමයි. මේ ලෝකයේ ඇති වූ හෝ ඇතිවන බොහෝ ගැටලුවලට මූලිකම හේතුව වූයේ මේ විෂම වූ ලෝභය හෙවත් තෘෂ්ණාව නොවේදැයි ඔබම සිතා බලන්න. රටවල් සහ ජාතීන් අතර ගැටුම් ඇතිවන්නේ ඔවුනොවුන් තුළ තෘෂ්ණාව ඇති නිසාය. තමා තුළම ඇතිවන ආශාවන් නිසා තමාටම සිදුවන හිරිහැර සහ විපත් ගැන සිතන්න. මේ ආශාවන් විෂම වූ ආශාවන් ලෙස ආගම ධර්මයටද සදාචාරයටද පටහැනි ලෙස බලපවත්වන විට කොපමණ නම් අප්‍රසන්න පරිසරයක්‌ ඇති වෙයිද? යම් අයෙක්‌ අසංවර අයෙක්‌ යයි පවසන්නේ කුමන හේතුවක්‌ නිසාද? ඒ පුද්ගලයාගේ සිතේ ඇතිවන හැඟීම් හෝ ආශාවන් පාලනය නොකර ගැනීමය. එම අසංවර වූ හැඟීම් හෝ ආශාවන් තවත් කෙනෙක්‌ හෝ නීතියෙන් පාලනය කරනවාට වඩා තමා ම අවබෝධයෙන් යුතුව ස්‌වයං පාලනයක්‌ ඇති කර ගන්නේ නම් වැදගත්ම විනයකි. බුදු දහමෙන් සීලය නමින් උගන්වන්නේ ද එයයි. තපසෙහි ප්‍රධානම කරුණක්‌ ලෙස සීලය හැඳින් විය හැකිය. එනම් කායික සහ වාචයිsක සංවරයයි. බුදු දහමෙහි උගන්වන පස්‌ පව් සහ දස අකුසල්වල මෙම ඉන්ද්‍රිය අසංවරය පෙන්වා දෙන අතර, පස්‌ පව් සහ දස අකුසල්වලින් වැළකීමෙන් පෙන්වා දෙන්නේ ඉන්ද්‍රිය සංවරයයි.

එම පස්‌පව් සහ දස අකුසල්වලින් වැළකීමෙන් සිදුවන යහපත පිළිබඳව, එක කරුණකින් දෙකකින් පමණක්‌ සාකච්ඡා කර බලමු. ප්‍රාණ ඝාතයෙන් වැළකීම සහ සොරකම් නොකිරීම, කාමයෙහි වරදවා නොහැසිරීම නම් වූ මෙම කරුණු තුන කයින් සිදුවන වැරදිය. අසංවර මනුෂ්‍යයන් විසින් අන් අයට කරන හානි සහ විපත් වර්තමානයේ කොපමණද? සෑම දිනකම අසන්නට සහ දකින්නට ලැබෙන්නේ කලකෝලාහලයන්ය. පහර දීම්ය. මනුෂ්‍යයන් ඝාතනය කිරීම්ය. සොරකම නම් වූ වචනය සඳහන් නොකළද, බොහෝ අයෙක්‌ කවර හෝ ආකාරයකින් සොරකමට පුරුදුව සිටිති. තමාට නියමිත සේවා කාලයට අනුව දවසට නියමිත පැය ගණන අර්ථවත් ලෙස වැඩ නොකිරීම ම හොරකමක්‌ බව බොහෝ දෙනා නොදනිති. නියමිත සේවාවක්‌ නොකොට වැටුපක්‌ හෝ මුදලක්‌ ගැනීම සොරකමකි. එමෙන්ම බොහෝ කෙනෙක්‌ විසින් තවත් අයෙක්‌ වංචා කරති. වර්තමානයේ සාමාන්‍ය ජන වහරෙහි පවතින කතාවක්‌ තිබේ. එ

නම් "වර්තමානයේ මනුෂ්‍යයෙක්‌ විශ්වාස කරන එකනම් ලෙහෙසි නැහැ" යනුවෙනි. කාමයෙහි වරදවා හැසිරීම නම් වූ කායික අසංවරය හෙවත් ඉන්ද්‍රියන් වැරදි ලෙස පිනවන්නට යාම නිසා ඇතිවන සමාජ අපචාර කොපමණද? ඉතිහාසයේ ශ්‍රී ලාංකික සංස්‌කෘතිය පිළිබඳව සඳහන් වූයේ කෙසේද? "රුහුණේ සිට අනුරාධපුරයට, සියලු ආභරණවලින් සැරසුණු නව යොවුන් කාන්තාවකට වුව ද මහ රැයක වුව ද, තනි මඟ ගමන් කරන්නට තරම් පරිසරයක්‌ මෙම ලක්‌දිව පැවතුණු බවය." එනමුත් වර්තමානයේ ස්‌වභාවය කොයි තරම් භයානකද? අප්‍රසන්නද? වැඩිහිටි මෑණියන් කෙනෙකුට මහ රාත්‍රී නොව මහ දවාලේවත් නිවසක තනිව විසිය නොහැකි පරිසරයක්‌ නිර්මාණය වෙමින් පවතිනවා නොවේද? තරුණ දරුවන්ට පමණක්‌ නොව, වයස හතර - පහ කුඩා දරුවන්ට පවා කරදරයක්‌ නිර්මාණය වෙමින් පවතී. මින් අදහස්‌ කරන්නේ සමස්‌ථ රටම හෝ සමාජයම දූෂණය වී ඇතැයි යන්න නොවේ. අප්‍රමාණ වූ යහපත් පිරිසක්‌ සිටිති. එනමුත් වේගයෙන් බොහෝ පිරිසක්‌ අසංවර පැවැත්මකට යොමු වීගෙන එන බවයි මින් අදහස්‌ කරන්නේ. ස්‌වල්ප වූ කරුණකදී පවා මුළු පවුල්පිටින් විනාශ කරන්නට තරම් මනුෂ්‍යයන් නපුරු වූයේ ඇයි? අප මහ මඟ ගමන් කරණා විට පාදයේ ඇඟිල්ලක්‌ ගලක හෝ මුලක හැපුණත් කොපමණ වේලාවක්‌ යන තෙක්‌ වේදනා ගෙනදෙයිද?

ඇසේ පොල් කෙන්ඳක්‌ වැදුණත් කොපමණ වේලාවක්‌ යන තෙක්‌ වේදනා ගෙනදෙයිද? කරුණු එසේ නම්, දඬු මුඟුරුවලින්, අවි ආයුධවලින් පහර දෙන විට කොපමණ නම් වේදනා ගෙන දෙයිද? අහිංසක දියණියකට හෝ අහිංසක අම්මා කෙනෙකුට කරදර කරන විට කොපමණ නම් වේදනා ගෙන දෙයිද? ඇයි අසංවර මිනිසුනේ, නුඹලා සිතන්නේ නැත්තේ? නුඹලාට රිදේ නම්, නුඹලා තමන්ගේ ජීවිතයට කැමති නම්, ඇයි අනෙක්‌ අයගේ ජීවිතවලට කරදර කරන්නේ? කුමකටද නුඹලා ඉපදුනේ..? ඉන්ද්‍රිය සංවර කර ගැනීමෙන් මිනිස්‌ සංහතියට සිදුවන යහපත ගැන සිතන්න. මේ සඳහා දැඩි වූ වීර්යයක්‌ ඇති කර ගන්න. අත්-පා කපද්දීත්, තමන්ට කරදර කළ අයට වෛර නොකළ බෝධිසත්ව චරිතය දෙස බලන්න. අපි තවම රහත්වෙලා නැහැ. බෝධිසත්වයෙක්‌ නොවේ යයි පවසමින් මිනිස්‌කමෙන් හීනවීමට තරම් අකාරුණික වෙන්නට එපා. මනුෂ්‍යයෙක්‌ ලෙස ඉපදුනා නම් සුවඳැති මලක්‌ සේ ගුණ සුවඳින් වැඩෙන්න. දුඟඳ හමනා කිඩාරම් මලක්‌ ලෙස නම් එපා පිපෙන්නට මේ පොළොවේ. උතුම් වූ තපස වන්නේ ඉන්ද්‍රිය සංවරයයි. පාපයෙන් වැළකීමට ගන්නා වූ වීර්යයි.

උතුම් තුණුරුවන් සරණයි. ධර්මාවබෝධය වේවා.