featu.gif (545 bytes)
ලාංකික කාන්තාවගේ විමුක්‌තිදායිකාව
ඕතොමෝම වන්නීය

මෙලොව වසන සෑම දෙමවුපියෙකුටම, තම ලෙයින් ජාතක වූ සිය දූ දරුවන් විෂයෙහි කිසියම් වූ සිහිනක්‌ ඇත. යහපත් වූ හෙට දවසක ප්‍රීතියෙන් යුතුව කල් ගෙවන තම දූ දරුවන් පිළිබඳ දිවා රෑ සිහින දකින මවුපියන් ඒ අරමුණ ඔස්‌සේ සිය දරුවන් මෙහෙයවති. ඇතැම් දරුවන් තම මවුපියන්ගේ සිතැඟි හඳුනාගෙන ඔවුන්ගේ සිහින සැබෑ කරති. ඇතැම් දරුවෝ මවුපියන්ගේ සිහින අමතක කෙට තම සිහින සැබෑ කර ගනිති. එහෙත් තම මවුපියන්ගේ උදාර අරමුණු වෙනුවෙන් සිය ජීවිතයම කැපකෙට ක්‍රියා කළ දූ දරුවන් ද මේ මිනිස්‌ සමාජය තුළ වාසය කළ බව අමතක නොකළ යුතුය. ආදර්ශමත් බෞද්ධ කාන්තාවෝ තුළින් අද ඔබ හමුවට එන්නේ එවන් වූ උදාර ගති පැවතුම්වලින් යුක්‌ත නාඹර තරුණ වියේ පසු වූ රූමත් ගුණවත් පින්වත් කාන්තවකි. ඇය අන් කිසිවෙකුත් නොව ශ්‍රී ලාංකික කාන්තාවගේ විමුක්‌තිදායිකාව වූ සංඝමිත්තා තෙරණියයි.

ධර්ම විජය ප්‍රතිපත්තිය තුළින් භාරත දේශය තුළ පමණක්‌ නොව ආසියාවේ බොහෝ රටවල්වල සිය නාමය නොමැකෙන ලෙස සනිටුහන් කළ ශේ්‍රෂ්ඨ නරපතියකු වූ ධර්මාශෝක මහ රජුගේ සහ දේවි නම් බිසවගේ එකම දියණිය සංඝමිත්තා කුමරියයි. ලක්‌දිවට බුදු දහම හඳුන්වා දුන් මිහිඳු මහ රහතන් වහන්සේ ඇගේ සොහොයුරාය. යුදමය ප්‍රතිපත්තිය ඉවතලූ අශෝක රජතුමා බුදු දහම වැළඳ ගැනීමත් සමඟ දීප ව්‍යාප්තව ගෙන ගියා වූ ආගමික වැඩසටහන් නිසා මාළිඟය තුළ ද ආගමික පරිසරයක්‌ නිරායාසයෙන් ම ගොඩනැඟුණේය. යුද ගැටුම් කලකෝලාහලවලින් තොරව නිවුණු පරිසරයක්‌ තුළ හැදුණු වැඩුණු සංඝමිත්තා කුමරිය ඇගේ සම වයසේ හුන් අනෙකුත් තරුණ කාන්තාවන් අතර ඉතා නිවුණු සංවර ගති පැවතුම්වලින් යුක්‌ත රූමත් තරුණියක්‌ වූවාය. නිසි වයස්‌ එළැඹෙද්දී මවුපියන් විසින් ඇයව අග්ගිබ්‍රහ්ම නම් වූ තරුණ කුමාරයාට විවාහ කෙට දුන්නේය. අග්ගිබ්‍රහ්ම කුමාරයාද ආගමානුකූල දිවි පෙවෙතක්‌ ගත කළ දැහැමි පුද්ගලයෙක්‌ විය. නොබෝ කලකින් ඔවුන්ගේ ලෝකයට තුන්වැන්නෙකු ද එකතු විය. ඔවුන් තම බිළිඳු පුතුට "සුමන" යෑයි නම් තැබුවේය.

සිය සොහොයුරා වූ මිහිඳු කුමරුගේ පැවිදි වීමත් සමඟ, තමන්ද පියාණන් විසින් සිදු කරන්නා වූ වටිනා ශාසනික සේවයට අර්ථවත් අයුරින් දායක විය යුතු යෑයි සංඝමිත්තා කුමරිය කල්පනා කළාය. බුදු සසුනේ පුන්‍ය දායකයකු පමණක්‌ව සිටි පිය රජතුමා මිහිඳු කුමරුගේ පැවිද්දත් සමග බුදු සසුනේ උරුමකරුවකු වූ බැවින්. තමන්ද ඒ සඳහා ඉදිරිපත් වීමෙන් පිය රජුගේ නිරාමිස සතුට දෙගුණ තෙගුණ වන බව දැනුණා. සංඝමිත්තා කුමරිය සිය ස්‌වාමියාගේ ද අවසරය ගෙන පිය රජුගේ ද අනුමැතිය ලබා ධම්මපාලා තෙරණියගේ උපාධ්‍යායත්වයෙන් හා ආයුපාලා තෙරණියගේ ආචාර්යත්වයෙන් පැවිදි දිවියට පත් වූවාය. ඇයගේ පැවිදි වීමත් සමඟ අග්ගි බ්‍රහ්ම කුමාරයාද සුමන නම් වූ පුත් කුමරුන්ද (මිහිඳු මහ රහතන් වහන්සේ ලක්‌දිවට වැඩම කරන අවස්‌ථාවේ උන්වහන්සේ සමග වැඩම කළ පිරිස අතර සිටින සුමන සාමණේරයන් වහන්සේ සංඝමිත්තා හා අග්ගි බ්‍රහ්ම කුමාරයාගේ පුත්‍රයා වේ.) පැවිදි දිවියට පත්ව බුදු සසුනේ නිවි සැනසීමට තරම් භාග්‍යවන්තයෝ වූහ.

උදාර අරමුණක්‌ වෙනුවෙන් සියලු සැප සම්පත් අත්හැර දමන විට සංඝමිත්තාගේ වයස අවුරුදු දහඅටක්‌ පමණ වූ නාඹර තරුණ වියේ පසුවන්නියක්‌ වූවාය. "ජීවිතය" නම් විදිය යුත්තකි. යන සංකල්පය සිත් තුළ පොපියන මෙවන් වයසක තරුණියක්‌ සියලු කම්සැප හැර දමා ලෝකාර්ථය උදෙසා සිය ජීවිතය කැප කිරීම කරන්නට හැම දරුවකුටම හැකියාව ලැබුණා නම් හෙට දවස කොතරම් සුන්දර වේවිද? අනුන්ගේ අරමුණු වෙනුවෙන් සිය ජීවිත කැප කරන්නා තියා තමන්ගේ අරමුණු වෙනුවෙන්වත් කැප කිරීම් කරන්නට නොහැකි වර්තමාන සමාජයේ ඇතැම් ගැහැනුන් සහ මිනිසුන්ට සංඝමිත්තා යනු ආදර්ශමත් චරිතයකි. ස්‌වාර්ථය උදෙසා නොව පරාර්ථය උදෙසා සංඝමිත්තාවන් ගත් තීරණය වසර සිය දහස්‌ ගණනක්‌ ගත වී ගියද තවමත් බෞද්ධ ලෝකයාගේ ගෞරවාදරයට පාත්‍ර වෙමින් පවතී.

සංඝමිත්තා කුමරිය විසින් "පැවිදි විය යුතු යෑයි" ගන්නා ලද තීරණය දිනක තවත් දේශයක නවයුගයක්‌ උදා කරා වී යෑයි කිසිවිටකත් ඇය නොසිතන්නට ඇත. සංඝමිත්තා තෙරණියගේ සොහොයුරා වන මිහිඳු මහ රහතන් වහන්සේ ඒ වනවිටත් ලක්‌දිවට වැඩම කොට ලක්‌වැසියන්හට බුදු දහම හඳුන්වා දී තිබූ බැවින් රජු ඇතුළු ලක්‌වැසි බොහෝ ජනයා තිසරණ සහිත පංචසීලය සරණ ගිය පිරිස්‌ බවට පත්ව සිටියහ. මිහිදු මහ රහතන් වහන්සේ ලක්‌දිවට වැඩම කළ දිනයට පසු දින දේවානම් පියතිස්‌ස රජ මාළිගයේදී දේශනා කරන ලද ධර්මය අසා බුදු දහම වැළඳගත් බොහෝ පිරිස්‌ අතර අනුලා දේවිය ඇතුළු කුල කාන්තාවන්

රැසක්‌ද විය. ධර්මය අසා පැහැදිව සසුන්ගත වීමට කැමැති වූ අනුලා දේවිය ඇතුළු පිරිස තම අභිප්‍රාය රජුගේ මාර්ගයෙන් මිහිදු මහ රහතන් වහන්සේ වෙත දැන්වූවාය. එහෙත් කාන්තාවන් පැවිදි කිරීම බෞද්ධ භික්‍ෂුවකට අකැප වූ බැවින් භාරතයේ වැඩ සිටින තම සොහොයුරිය වන සංඝමිත්තා මහරහත් තෙරණිය ලක්‌දිවට වැඩම කරවාගන්නා ලෙසට මිහිඳු හිමියන් රජුට දැන්වූහ. මිහිඳු මහ රහතන් වහන්සේගේ ඉල්ලීම අනුව පියරජතුමාගේද සහාය හා ආශිර්වාදය ඇතිව සංඝමිත්තා මහ රහත් තෙරණිය තවත් තෙරණින් වහන්සේලා දොළොස්‌ නමක්‌ද කැටුව දඹදිව ශ්‍රී මහබෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව ද රැගෙන ශ්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නේ උඳුවප්පුර පසළොස්‌වක පොහොය දිනයේදී අනුරාධපුරයට වැඩම කළහ. සංඝමිත්තා තෙරණියට අවශ්‍ය විණි නම් ලක්‌දිව කාන්තාවන් දඹදිවට ගෙන්වා ගෙන මහණ උපසම්පදා කර ආපසු එවීමට බොහෝ ඉඩකඩ තිබිණි. නමුත් පරාර්ථ සේවයට කැපවුණු එතුමිය නොදන්නා දුර ඈත රටක නොදන්නා මිනිසුන් අතරට පැමිණියේ ඕනැම සමාජයක ජීවත් විය හැකි පරිදි පිරිසිදු සුසිල්වත් චරිතයක්‌ කුඩා කල සිට ගොඩනඟාගෙන සිටි බැවිනි. අන් අයට යහපතක්‌ කරන්නට, සමාජයට සේවයක්‌ කරන්නට විශේෂ වූ දිව්‍යමය බලයක්‌ ඇවැසි වන්නේ නැත. දේශපාලන බලවතෙකු වන්නට අවශ්‍ය වන්නේ ද නැත. ජීවිත කාලය තුළදී තමන් වෙත ලැබෙන පුංචිම පුංචි අවස්‌ථාවක්‌ වුණත් ප්‍රයෝජනයට ගෙන අන් අයට යහපතක්‌ සිදු කළ හැකිය. තමන් අතින් සිදුවන ඒ පුංචි සේවය මතු දිනක විශාල මෙහෙවරක මූල බීජය වන්නට ද පුළුවන.

සංඝමිත්තා තෙරණියගේ ලංකා ගමනයද ලක්‌දිව මහා සංස්‌කෘතියක මූලාරම්භය බවට පත් වූ බව අප කවුරුත් හොඳින් දන්න කරුණකි. ලක්‌දිව භික්‍ෂුණී ශාසනය ආරම්භ වූවා පමණක්‌ නොව ශ්‍රී ලංකාවේ සංස්‌කෘතික පෝෂණයටද සංඝමිත්තා මහරහත් තෙරණියගෙන් සිදුවූ සේවය අප්‍රමාණය. ඕනැම සමාජ තලයක ඕනැම පරිසරයක්‌ තුළ තමාට පැවරෙන රාජකාරිය ඉතා හොඳින් ඉටු කිරීමට සංඝමිත්තා තෙරණියට හැකි විය. යහපත් අරමුණකින් ජිවත් වන අයෙකුට ඕනැම තැනක හොඳින් ජීවත් විය හැකි බව එතුමියගේ චරිතය තුළිsන් මනාව සනාථ වේ. අනුරාධපුර යුගය ආරම්භ වූ අවධියේදීම ලක්‌දිව ඇති වූ භික්‍ෂුණී ශාසනය අනුරාධපුර යුගය අවසාන වෙද්දී අභාවයට ගියද ලක්‌දිව භික්‍ෂුණී සමාජය නිසා කාන්තාවට පමණක්‌ නොව සමස්‌ත ශ්‍රී ලාංකිකයන්ටම ඉමහත් සෙතක්‌ සැලසිණි. විශේෂයෙන් ශ්‍රී ලාංකික කාන්තාවගේ අධ්‍යාත්මික ප්‍රබෝධය කෙරෙහි එය මහත් බලපෑමක්‌ කළේය. උත්තිය රාජ සමයේ සඟමිත් තෙරණිය පිරිනිවන් පාන විට පණස්‌ නව වැනි වියෙහි පසු වූවාය. මෙරටට වැඩම කළදා සිට පිරිනිවන් පාන තෙක්‌ම උන් වහන්සේගේ ජීවිතය කැප වූයේ ලාංකිකයන් වෙනුවෙනි. මිනිස්‌ වර්ගයාගේ හිත සුව සඳහා ඕනැම පරිත්‍යාගයක්‌ කිරීමේ හැකියාව කාන්තව සතුව පවතින බව සංඝමිත්තා මහ රහත් චරිතයෙන් ප්‍රකට වේ. එසේම දේශීය වශයෙන් පමණක්‌ නොව විදේශීය වශයෙන් ද කාන්තාවට උදාර සේවාවක්‌ කළ හැකි බව ක්‍රියාත්මකවම ඔප්පු කළ ශේ්‍රෂ්ඨ කාන්තාව ඇයයි. එබඳු කාන්තාවන්ට ස්‌ත්‍රි පුරුෂ භේදයකින් තොරව කාගෙත් ගෞරවය හිමිවන බව කිව යුතුමය.


හේමමාලි නිලාන්ගනි කරුණාරත්න