|
නිවසෙහි ලී බඩු පිරිසිදු කිරීම නි වසක විවිධ ලී බඩු භාවිතයට ගැනෙනවා. ආලින්දයේ සිට මුළුතැන්ගෙය, නාන කාමරය දක්‌වා විවිධාකාර වූ ලී බඩු තිබෙනවා. මේ බොහොමයක් අපි නිතර භාවිතයට ගන්නා ඒවා. ඇඳ, පුටු, මේස, අල්මාරි ආදී විශාල ගෘහ භාණ්‌ඩ මෙන්ම මුළුතැන්ගෙයි භාවිත වන වංගෙඩි, ලෑලි, ඉඳිආප්ප වංගෙඩි, හැඳි ආදිය මෙම භාණ්‌ඩ අතර තිබෙනවා. ඒ වගේම මල් බඳුන්, විසිතුරු සැරසිලි ආදී දේ ද ඒ අතර තිබෙනවා. ප්‍රධාන ලී භාණ්‌ඩ දිනපතා දූවිලි ගසා පිරිසිදු කළ යුතුය. ඒ වගේම මුළුතැන්ගෙය තුළ ඇති උපකරණ දිනපතා හොඳින් සෝදා ගත යුතුය. මුළුතැන්ගෙයි භාවිත කරන ලී බඩු අතර වඩාත් අපවිත්‍ර වූ ලී බඩු ඇත්නම් ඒවා ඉතාම හොඳින් පිරිසිදු කළ යුතුය. දැලි, ඉඳුල් ආදිය වැඩිපුර වැටී අපවිත්‍ර වූ භාණ්‌ඩ තිබේනම් ඒවා පිරිසිදු කිරීමට පෙර ටික වේලාවක් පෙඟෙන්නට තැබිය යුතුය. ඒ සඳහා ඒ මතට ජලය දමා තිබෙන්නට හරින්න. ඉන්පසු සබන් මිශ්‍ර උණු දියෙන් සේදිය යුතුය. ලී භාණ්‌ඩවල මතුපිට අතුල්ලා සෝදන විට එහි වයිරන් වැටී ඇති පැත්තට ඇතිල්ලීම කළ යුතුය. සෝඩා දමා අපිරිසිදු ලී මතුපිට පිරිසිදු කළ හැකිය. මෙම ලී බඩු හොඳින් සෝදා වේලාගත් පසු වැඩිකල් පැවැත්මට තීන්ත ආලේපය මගින් භාණ්‌ඩයේ කල්පැවැත්ම ඇති වේ. ඒ වගේම ඒවා තබන ස්‌ථානය අනුව ප්‍රසන්න බවක් හා පිළිවෙලක් නිවසට එක් වේ. නමුත්, තීන්ත ආලේප කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ද තිබේ. කාමරයේ හෝ එම භාණ්‌ඩය තබන ස්‌ථානයේ බිත්තිවල ආලේප කර ඇති වර්ණයන්ට ගැලපෙන වර්ණයක් ලී බඩුවලට තෝරාගත යුතුය. එසේම එම ප්‍රදේශය තුළ තබා ඇති අනෙකුත් භාණ්‌ඩවලට ගැලපෙන වර්ණයක් වීමද වැදගත් වේ. ලී භාණ්‌ඩවල තීන්ත ගෑමේදී පළමුව සෝදා පිරිසිදු කරන්න. නො. 80 වැලි කඩදාසියෙන් අතුල්ලන්න. ඉන්පසුව නො. 120 වැලි කඩදාසියකින් අතුල්ලන්න. අවසානයේ නො. 180 වැලි කඩදාසියකින් අතුල්ලන්න. ඉන්පසු තීන්ත ආලේප කරන්න. තීන්ත ආලේපයේදී තීන්ත තුනීවන තුරු එකම අතකට බුරුසුව ඇතිල්ලිය යුතුය. එම තීන්ත වේලීමට පැය 4 ක් පමණ තිබෙන්න හරින්න. දැන් නැවතත් නො 320 වැලි කඩදාසියකින් අතුල්ලා මතුපිට පිරිසිදු කර නැවත වරක් වර්ණ ආලේප කරන්න. වියළෙන්නට තබන්න. ඇතැම් විට, ලී භාණ්‌ඩ තීන්ත තැවරීමකින් තොරව ඔප දමා තිබෙනවා. පොලිෂ් කරන ලී බඩුවල තීන්ත ගෑමෙන් ඒවායේ වටිනාකම අඩුවෙනවා. ඒ නිසා එවැනි ලී භාණ්‌ඩ පොලිෂ් කර ඔප දැමීම කළ යුතුය. යමුනා කුමාරි මහානාම සහකාර අධ්‍යක්‍ෂ (ගෘහ ආර්ථික විද්‍යාව) කැලණිය කලාපය සාකච්ඡා කළා - චාමරි බණ්‌ඩාර |
||||
|
||||