featu.gif (545 bytes)
ශ්‍රී නාථ දෙවියෝ

පාදුක්‌කේ විජයසිරි විද්‍යාරත්න

මතු බුදුවන උතුම්s දෙවි කෙනෙකුන් ලෙස සැලැකෙන නාථ දෙවියන් පිළිබඳ විශ්වාසය මේ රටේ ජනතාව තුළ බොහෝ කාලයක සිට පැවැතෙයි. බෞද්ධයන්ගේ මහත් ගෞරවාදරයටත් පාත්‍රවූ නාථ දෙවියනට කැපවූ දේවාල ලංකාවේ නොයෙක්‌ පළාත්වල තිබුණු බව ඉතිහාසයේ නොයෙක්‌ තැන්වල සඳහන් වෙයි.

"මතු බුදුවන රදු
සරදෙ තොටගමු වෙහෙර නතිදු"

තොටගමු වෙහෙරෙහි නාථ දේවාලයක්‌ තිබුණ බව ඉහත සඳහන් කාව්‍යසේකරයේ පද්‍යයෙන් පැහැදිළි වෙයි.

මහත සසර සයුරෙහි කුමුටුව සරන

අනත සත නිවන් පුර ගෙනයන සිතින

සතත සොදුරු බුදුකුරු ගුණදම් පුරන

දියත පසිදු නතිදුන් දැක ගොස්‌ සොබන

යනුවෙන් ගිරා සන්දේශයෙහි සඳහන් වෙයි.

තිසර , ගිරා, කොවුල් ආදී සන්දේශයන්හි ද බුදුකුරු ගුණදම් පුරන නාථ දෙවියන් පිළිබඳ මනහර වැනුම් එයි. තොටගමුව , වේගිරිය, පස්‌ගම, උරුලෑවත්ත, මහනුවර, බෙල්ලන්විල ආදී සිද්ධස්‌ථානයන්හි ද නාථ දේවාල ඇත. මහනුවර ශ්‍රී දළදා පෙරහැරට අනතුරුව ගමන් කරන්නේ නාථ දේවාල පෙරහැරයි. මෙසේ ගමන් කරන්නේ නාථ දෙවියන් මතු බුදු වන බෝධිවත්ව උතුමකු නිසා විය හැකිය.

තව්තිසා දිව්‍ය ලෝකයෙහි වෙසෙතියි පැවසෙන නාථ දෙවියන් සුදු පැහැයෙන් යුතුය. බිසොව "තාරා දේවී" නම්ය. නාථ දෙවියන් පිළිබඳව නොයෙක්‌ විසිතුරු ජනකතා අසන්නට ලැබෙයි. නාථ දෙවියන් කලක්‌ දුම්බර ප්‍රදේශයේ අධිපතිව සිටි බව ද කියති. කඩවරයා රුහුණට පළවා හැරියේ ද නාථ දෙවිදුන් විසිනැයි පැවැසේ. දොරවක නාථ දේවාලයයේ නාථ දෙවියන්ට හා තාරා දේවියටද ගෞරවයෙන් පුද පූජා පැවැත්වූ බවද සඳහන් වෙයි.

මෛත්‍රි බෝධිසත්ව, අවලෝතිකේශ්වර, නාථ ආදී නම්වලින් ද මෙම දෙවියන් හැඳින්වේ.

ශ්‍රී නාථ දේව කන්නලව්ව

සාධු සාධු සාධු

දොහොත් මුදුනේ තබා වැදදෙමි දෙපා වැන්දෙමි හුරු අත් නුහුරු කර - නුහුරු අත් හුරු කර වැන්දෙමි මතු බුදු වන්නාවූ, තව්තිසා දිව්‍ය ලෝකයෙහි වැඩ වාසස්‌ථානය කරන්නා වූ අනාථ නාථ වූ, නාථ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස, ඔබ වහන්සේට කරුණාවෙන්, මෛත්‍රියෙන්, භක්‌තියෙන්, ආරාධනා කර, ඔබ වහන්සේට ඉදිරිපත් කර ඔබ වහන්සේට කියා සිටින මේ කන්නලව්ව දිවැසින් බලා, දිවකනින් අසා කරුණාවට ගෙන බලා වදාරා මේ ගැත්තන්ගේ සියලු රෝගාබාධ අතුරු අන්තරා අපල උපද්‍රව සියල්ල දුරින් දුරු කොට සෙත් ශාන්ති සලස්‌වා දී වදාරන සේක්‌වා.

තවද අනාථ නාථ වූ මතු බුදුවන්නා වූ බුද්ධංකුර වූ නාථ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස, මෛත්‍රී, කරුණා, මුදිතා , උපේක්‌ෂා , ගුණ ආකාරයක්‌ බදුව, ලෝකවාසී සකල සත්වයන්ට කල්ප වෘක්‌ෂයක්‌ බඳු වූ දෛත්‍යාදිත්‍ය මෙන් ත්‍යාග චින්තනයෙන් යුක්‌ත වූ, තුන්ලොව සත්වයන්ගේ දුක්‌ඛාන්ධකාර දිව නෙතින් බලා දුරින් දුරු කරවා වැඩ වෙසෙන්නා වූ අමරපතිවූ නාථ දේව රාජෝත්තමයාණන් වහන්ස, ඔබ වහන්සේට කියන මේ කන්නලව්ව කරුණාවට ගෙන මේ ගැත්තන් ට පැමිණියා වූ දෝෂාන්ධකාර දුරී භූත කොට සකලාභී මතාර්ථයන් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කර සන්තුෂ්ටියට පත් කරදී වදාරණ සේක්‌වා

තවද මතු නාග ශ්‍රී බෝධියට පිටදී තුන්ලෝකය ආලෝක මත් කර, අවිද්‍යා අන්ධකාර දුරුකර දස දහසක්‌ සක්‌වල දෙව් බඹුන්ගේ සාධුකාර මධ්‍යයේ බුද්ධත්වයට පත්ව ධර්ම දේශනා කර සියලු සත්වයන් සසර කතරින් එතෙර කරන්නා වූ ශ්‍රී නාථ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස, ඔබ වහන්සේට මේ සැලකර සිටින කන්නලව්ව දිව ඇසට පෙනී දිව කනට ඇසී මොවුන් හට වැළඳී ඇත්තා වූ ග්‍රහදෝෂාන්ධකාර ද වා-පිත්-සෙම් ආදියෙන් හටගන්නා වූ දෝෂාන්ධකාරද යක්‌ෂ - ප්‍රේත - පිසාචාදීන් නිසා හට ගන්නා වූ ඇස්‌වහ කටවහ ආදියෙන් ඇති වන්නා වූ දෝෂාන්ධකාරද මෙකී නොකී සකලවිධ දෝෂාන්ධකාරයක්‌ම ඔබ වහන්සේගේ දිව්‍ය තේජානුභාවයෙන් මෙවක්‌ පටන්, මේ මොහොතේ පටන් දුරුකර ආයු රෝග්‍ය සම්පත්තිය සලසාදී පතුරන සේක්‌වා ඔබ වහන්සේගේ කීර්ති පස්‌වාන් දහසක්‌ ආයුබෝවේවා, ආයුබෝවේවා, ආයුබෝවේවා.

සාකච්ඡා කළා - හරින්දි ලියනගේ