health.gif (441 bytes)
හෘද රෝග සහ ගැබ් ගැනීම

කාන්තා සෞඛ්‍ය සායනය
වෛද්‍ය චම්පා නෙල්සන්

කාන්තාවන් අතර දක්‌නට ලැබෙන හෘද රෝග අතරින් සමහරක්‌ උපතින්ම තිබූ ඒවාය. අනෙක්‌වා උපතින් පසු වැළඳුන ඒවාය. රුමටික්‌ උණ නැමැති රෝගය සුළඟින් බෝවන බැක්‌ටීරියා විෂබීජ ආශ්‍රිත රෝගයක්‌ ලෙස සැලකේ. මෙම රෝගය වැඩි පිරිසක්‌ ජීවත් වන කුඩා නිවෙස්‌වල සෞඛ්‍යමය වශයෙන් නුසුදුසු ජනාකීර්ණ පරිසරයක බහුලව පැතිරේ. මිනිසුන්ගේ ජීවන රටාවන් දියුණු වීමත් සමගම පරිසරයේ තත්ත්වය ඉහල යැමෙන් දැන් මෙම රෝගය එතරම් තදින් පැතිරෙන්නේ නැත. මෙම රෝගයේ ලක්‌ෂණ වන්නේ උණ සමග හන්දි වේදනාව සහ ඉදිමීමයි. භයානක තත්ත්වය වන්නේ හෘද කපාට වලට බලපෑමෙන් ඇතිවන හෘද රෝග තත්ත්වයයි. පෙනිසිලින් නම් එන්නත මගින් විෂබීජ පාලනය කිරීම සඳහා මෙම රෝගීන්ට කාලයක්‌ යනතුරු එම එන්නත ලබා දෙනු ලැබේ. මේ හේතුවෙන් ද දැන් රුමටික්‌ හෘද රෝගින් අඩුවෙමින් පවතී.

මීට අමතරව හෘද කපාට වල රෝග උපතින්ම ඇතිව බිහිවන දරුවන් ඇත. නවීන වෛද්‍ය ක්‍රම මගින් කපාට ගැටලු ඇති දරුවන්ගෙන් බොහෝ දෙනෙක්‌ට විසඳුම් ලැබේ. ඔවුන්ගේ ආයුෂ පෙර මෙන් නොව වෛද්‍ය තාක්‌ෂණයේ පිහිටෙන් වැඩි වී ඇත. එබැවින් ගැබ්ගැනීම වයසේ කාන්තාවන් අතරද මෙවැනි ගැටලු සහිත කාන්තාවන් සිටිය හැක.

ගැබ් ගැනීමේදී සිරුරේ සිදුවන වෙනස්‌ වීම් නිසා හෘද කපාට රෝග ඇති කාන්තාවක ගැබ් ගැනිමක්‌ සමග ක්‍රමයෙන් රෝගී තත්ත්වයකට පත්විය හැක. ගර්භයේ වැඩීමත් සමග තත්ත්වය බරපතල වී ජීවිතයට පවා තර්ජනයක්‌ විය හැක. එබැවින් එවැනි කාන්තාවක්‌ ගැබ් ගැනීමට පෙර වෛද්‍ය උපදෙස්‌ ලබා ගත යුතුයි. තව දුරටත් පරීක්‌ෂණ සඳහා හෘද රෝග අංශයට යොමු වීමෙන් හෘදයේ තත්ත්වය බලා ගත යුතුයි. මෙම පරීක්‌ෂණ වලින් ලබා ගන්නා තොරතුරු අනුව ගැබ් ගැනීමේ සුදුසු නුසුදුසු භාවය ගැන වෛද්‍යවරු විසින් උපදෙස්‌ ලබාදෙනු ඇත. මේවා අකුරටම පිළිපැදීම ඉතාම වැදගත්ය. සමහර හෘද කපාට රෝග, ගැබ් ගැනීමට පෙර ශල්‍යකර්ම මගින් නිවැරදි කර ගත යුතුයි. මේවා සඳහා ප්‍රතිකාර ක්‍රම ලංකාවේ රාජ්‍ය අංශයේ රෝහල්වලින් ලබා ගත හැක. මෙම තත්ත්වයන් සඳහා නිසි ප්‍රතිකාර නොගැනීමෙන් සහ තත්ත්වය නොසලකා හැරීමෙන් මව්වරුන්ගේ ජීවිතය නැතිවන අවස්‌ථා ඇත. විශේෂයෙන්ම දරු ප්‍රසූතියෙන් පසුව ශරීරයේ ඇතිවන වෙනස්‌කම් නිසා තත්ත්වය සීඝ්‍රයෙන් බරපතල විය හැක. මවක්‌ නැති දරුවකු

රැගෙන ගෙදර යැමට සිදුවන අවස්‌ථා ඇත.

තවද අද ජීවන රටාවේ අඩුපාඩු කම් සහ මානසික ආතතිය වැඩිවීමෙන් හෘද රෝග වැළඳීම අඩු වයස්‌ කාන්තාවන් අතර දැකිය හැක. එනම් ව්‍යායාම අඩු වීම, අධික මේදය සහිත ආහාර ගැනීම වැනි හේතුන් නිසා අධික රුධිර පීඩනය සහ දියවැඩියා රෝගය වැනි රෝග සමගම හෘද රෝගද වයසින් අඩු පිරිමින් මෙන්ම කාන්තාවන් අතරද දැකිය හැක. මෙවැනි හෘද රෝග ගැබිනි සමයේ ඇතිවීමෙන් තත්ත්වය තවත් බරපතල විය හැක. එබැවින් අධික රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග ඇති කාන්තාවන් ගැබ් ගැනීමට පෙර එම තත්ත්වයන් හොදින් පාලනය කර ගත යුතුයි.

තවද නීරක්‌තිය ගර්භනී සමයේදී විවිධ ආකාරයෙන් හානිකර විය හැක. කළලයට අවශ්‍ය රුධිර සැපයුම අඩු වීමට අමතරව මවගේ සෞඛ්‍යයටද මෙහි බලපෑම් ඇත. එනම් ගැබිනි සමයේ වැඩිපුර ක්‍රියාකාරි වන හෘදය, නීරක්‌තිය නිසා තවත් දුර්වල තත්ත්වයකට පත්විය හැක. එබැවින් ශරීරයේ රුධිර තත්ත්වය මනා ලෙස පවත්වා ගැනීම ගැබ් ගැනීමට පෙර සිටම සිදු කළ යුතුයි.

හෘද රෝග සහිත කාන්තාවන් ගැබ් ගැනීම සඳහා සුදුසු වන තුරු සහ දරු ප්‍රසූතියෙන් පසුවද උපත් පාලන ක්‍රම භාවිතා කළ යුතුයි. මේ සඳහා තමාට සුදුසු උපන් පාලන ක්‍රමයක්‌ තම වෛද්‍යවරයා සමග සාකච්ඡා කර තේරා ගත යුතුයි. ඕනෑම උපත් පාලන ක්‍රමයක්‌ මෙවැනි රෝග වලින් පසුවන කාන්තාවන්ට සුදුසු වන්නේ නැත. එබැවින් වෛද්‍ය උපදෙස්‌ ලබා ගැනීම වැදගත්ය.