featu.gif (545 bytes)
බුලත් අතට කොළ හතළිහක්‌
එක්‌ වූයේ කොහොමද?


බුලතේ උපත පිළිබඳව ජනප්‍රවාදයේ ඇත. එය පන්සිය පනස්‌ ජාතක පොතේ සස ජාතකය මූලාශ්‍රය කර ගත්තකි. හාවාගේ රුව සඳ මත ඇන්දවූ ශක්‍ර දෙවියාගේ අතින් ගිලිහුනු තෙලිතුඩ පතිතවූයේ නාග ලෝකයේය. එය නාග රාජයකු විසින් ගිලින ලදී. ඉන් සත් දිනකින් මිය ගිය නාග රාජයාගේ ආදාහනය කළ සිරුර තුළ වූ තෙලි කූරෙන් බුලත් වැල පහළ විය. බුලත් කොළයේ හැඩය නයි පෙණයක හැඩය ගන්නේ නා ලොව නාග සම්බන්ධයකින් එහි උප්පත්තිය සිදු වූ නිසාය. මෙම කතා පුවතේ ප්‍රබන්ධ ස්‌වරූපයක්‌ ඇතත් අපට වැදගත් වන්නේ බුලතේ උපත ගැන සිංහලයාගේ ඇති ගෞරවනීය පිළිගැනීමයි. සංස්‌කෘතියෙන් භූලදාතාද පාලියෙන් තාම්බුලන් සිංහලයෙන් බුලත්ද ඉංගි්‍රසියෙන් බ්‍රිට්‌ල් (ඊeඒක) යන චවන වලින් මේ ගෞරවනීය උපත සහිත වැල හඳුන්වයි.

භූමිය ලත් යන තේරුමෙන් බුලත් යන අරුත ලැබෙතැයි සිතිය හැකිය. හුණු කිල්ලෝටය, බුලත් මඩිස්‌සලය, බුලත් වංගෙඩිය බුලත් හා බැඳුණු වෙනත් මෙවලම් ය. බුලත් අසුරා ඇති භාජනය බුලත් තට්‌ටුවයි නැතහොත් බුලත් හෙප්පුවයි. ඉලත්තට්‌ටුව යන ව්‍යවහාරයක්‌ද ඇත. ඉලෙයි යන දෙමළ වචනයේ තේරුම කොළය යන්නයි. ඉලය යන්න ඉලෙයි යන වදනින් බිහි වූවකැයි සිතිය හැකිය. බුලත්තට්‌ටුව ඉලත් තට්‌ටුව වන්නට ඇත්තේ ඒ අනුසාරයෙන් වන්නට ඇත.

කව්සිළුමිණ, සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය වැනි චිරන්තන සාහිත්‍ය ග්‍රන්ථවල බුලත් ගැන කියෑවෙන බොහෝ තැන් ඇත.

සිරිලක බුලත් පිළිබඳ අතීතයේ විජය කුවේණි කතා පුවත දක්‌වා දිවයයි. ආසියාතික රටවල සමහර ප්‍රදේශ බුලත් පැලයට සුදුසු දේශගුණික සාධකවලින් සමන්විතය. ඒ නිසා බුලත් අප රටට ආවේනික වූවක්‌ නොවේ. සිංහලයා මෙන්aම බුලත් කෑමට හුරු වූ වෙනත් රටවල මිනිස්‌සුද සිටිති.

එහෙත් යුරෝපීයන්ට සිංහලයාගේ බුලත් කෑම පිළිකුල් සහගතය. අමු මස්‌ බුදිමින් නිතරම මුවින් ලේ පෙරාගෙන සිටින ම්ලේච්ඡ පිරිසක්‌ ලෙස යුරෝපීයන්ට එදා සිංයලයා පෙනුනි. එහෙත් සතලොස්‌ වන ශතවර්ෂයේදී රාජසිංහ රජ සමයේ විසි වසරක කාලයක්‌ ලංකාවේ සිරකරුවකු වශයෙන් සිටි රොබට්‌ නොක්‌ස්‌ට බුලත් කෑම අතහැර ගත නොහැකි පුරුද්දක්‌ වූ බව එදා හෙළදිව කෘතියේ සඳහන්වේ. චිරන්තන සාහිත්‍යයේ මෙන්ම ජන කවියේද නොයෙක්‌ තැන්වල බුලත් ගැන සඳහන් වන අවස්‌ථා ඇත.

සිත් ලෙස වැසි වැස පටනු පිරෙන්නේ

බත බුලතින් සැරසන්නට මෙතැනේ

එක්‌ වී ගොවියෝ කතා කරන්නේ

බක්‌ මස ලත් තැන් කොට බසින්නේ

(ගොවි ගෙදර ජන කවි නෝමන්a සිරිපාල)

බුලත් යොදා ගන්නා වැදගත් අවස්‌ථා කිහිපයක්‌ හදුනාගත හැකිය.

උත්තේජක සැපයීමක්‌ වශයෙන්

ආගන්තුක සංග්‍රහයක්‌ වශයෙන්

පූජ්‍ය භාණ්‌ඩයක්‌ වශයෙන්

රූපාලංකාරය සඳහා

සුහදත්වයේ සහ ගෞරවාර්ථයේ සංකේතයක්‌ වශයෙන්

උත්තේජනයක්‌ සැපයීමක්‌ වශයෙන්

සිංහලයන් බුලත් කන සැටි ඉබන් බතුතා, රොබට්‌ නොක්‌ස්‌ වැනි විදේශිකයන්ගේ සටහන්වලද අන්තර්ගත වී ඇත. පුවක්‌ හුණු දුම්කොළ එනසාල් කරාබු නැටි ඉඟුරු පියළි ආදි දේ නිසි පදමට ගෙන බුලත් විට කෑම පුරාණ කාලයේ සිට සිංහලයා අනුගමනය කරන පුරුද්දකි. බුලත් විට කෑමට ගන්න අඩුවැඩිය ඉහත දැක්‌වූ ඒවා පමණක්‌ නොවේ. කපුරු, කස්‌තුරි, ඉඟුරු, නෙළුම් අල මේ අතරින් කිහිප වර්ගයක්‌ පමණි. ඇතැමෙක්‌ බුලත් කොළයේ යටිපැත්තේ හුණු තවරති. නාරටි නිසා ඇගිල්ලේ ඇති හුණු හොදින් යටි පැත්තේ තැවරෙයි. අවශේෂ අඩුවැඩිය සමග හුණු සහිත බුලත් කොළය මුව තුළ රඳවා ගන්නට පෙර හීනියට ලියා ගත් පුවක්‌ කැබලි හක්‌කේ පදම් වෙමින් පවතියි. බුලත් විට කන්නට පැරැණි සිංහලයා සූදානම් වූයේ වතාවකට පේවන සේය. නිතරම බුලත් මඩිස්‌සලය ඔහුගේ ඉණ තුර වෙයි. හීනියට පුවක්‌a පෙති කපන අයුරු බලන්නට අපූරුය. විටට හුණු මදි නම් දබර ගිල්ලෙන් ගත් හුණු පොදක්‌ යටිතල්ලේ දතක උලා සෙස්‌ස බිත්තියේ හෝ උළුවස්‌සේ උලන්නේ ඇZඟපතට නොදනීය. බුලත් කෙළ ගසන්නට ගෙදර පඩික්‌කමක්‌ ඇතත් මිදුලේ කොතනක වුව ඒ සඳහා යොදා ගනී . ඇගිලි දෙකක්‌ දෙතොලට තබා ඒ අතරින් සුරුස්‌ ගා රතුපාට බුලත් කොළ විදින ආකාරය බලන්න ලස්‌සනය. කියමින් හිටි කතාවක ඉතිරි පදය මුවෙන් ගිලිහෙන්නට ඔන්න මෙන්න කියා තිබෙන විටය. මේ ඉරියව්ව වඩා හැඩවන්නේය.

ආගන්තුක සංග්‍රහයක්‌ වශයෙන් නිවසට අමුත්තෙකු පැමිණ ඉඳ ගැනීමෙන් අනතුරුව ගෙහිමියා ඊළඟට අසන්නේ කෝපි උගුරක්‌ බොනවද නැතිනම් බුලත් විටක්‌ හපනවාද? කියාය. ආගන්තුක සත්කාරය සඳහා ඕනෑම වෙලාවක බුලත් තට්‌ටුව සූදානම්ව පවතී. බුලත් විට හැපීම නිසා එහෙමම මත්වීමක්‌ සිදුවන්නේ නැත. යම් උත්තේජනයක්‌ ප්‍රබෝධයක්‌ ලැබෙන බව සත්‍යයකි. බුලත් විටෙන් ලබන රසය අසවල් රසයට සමාන යයි කිව නොහැකිය. එය බුලත් විටෙන්ම පමණක්‌ ලැබෙන්නකි. ජන වහරේ කියවෙන්නේ බුලත් දිව්‍ය ලෝකයේ පවා දුර්ලභ වස්‌තුවක්‌ බවය.

පූජ්‍ය භාණ්‌ඩයක්‌ වශයෙන්

ඉමං තාම් බුලනං.. යනාදී වශයෙන් සිංහල බෞද්ධයා බුලතින් බුදුන් පුදයි. ඒ හැරුණු විට මඟුල් තුලාවකදී මැතුරුමකදී බලි තොවිලයකදී දේව පූජාවකදී කමත් කාරියකදී පූජ්‍ය භාණ්‌ඩ අතර බුලතට හිමිවන්නේ සුවිශේෂ ස්‌ථානයකි.

රූපාලංකාරය සඳහා

දත්වල ආරක්‌ෂාවටද මුව සුවඳවත් කිරීමටද බුලත් විට යොදා ගැනේ. කෝට්‌ටේ යුගයේ ලියවුණු කාව්‍යයේ ශේඛරයේ සඳහන් ආකාරයට

කපුරු බුලතින් රත්

ලවනත වතල පැහැපත්

පියුම් රා මිණි වත්

දසන් අග මදහසින් සිත්ගත්a

යනාදී ලෙස ඇති පද්‍ය වල තරුණ බැමිණිය මනාලියක වූ දිනයේ ඈ තොල් රත් පැහැ කරගන්නේ බුලත් විට සැපීමෙනි.

සුහදත්වයේ සහ ගෞරවාර්ථයේ සංකේතයක්‌ ලෙස

බුලත් කොළයට දිගු ඉතිහාසයක්‌ ඇත. එසේම ගෞරවනීය උපතක්‌ පිළිබඳ කතාන්දරයක්‌ ඇත. බුලත් ලාලිත්‍යයෙන් හෙබි වැලකි. එය සුවඳවත්ය. දෙවියන් රජුන් පවා සේවිතය. පත්‍රය මතු පිට ඉතා සිනිදුය. සිංහලයාගේ පමණක්‌ නොව පොදුවේ පෙරදිග වැස්‌සන්ගේ ගෞරවාදරයට බදුන්වන නාගයකුගේ පෙණයේ හැඩයෙන් බුලත් කොළය උපකල්පිතය. බුලතෙහි ගුණ 13 ක්‌ ගැන හිතෝපදේශයේ සඳහන් වෙයි. විෂ කැවීම, බුලත් කෙළ පහරක්‌ මුහුණට ගැසීම වැනි අවස්‌ථා කිහිපයක්‌ හැරුණු විට බුලත් හැම විටම යොදා ගන්නේ ගෞරවනීය කාර්යයක්‌ හා සම්බන්ධවය. උසස්‌ පුද්ගලයකු වුවද තමාට වඩා පහළ පංතියේ මිනිසකුගෙන් බුලත්විටක්‌ ඉල්ලා ගැනීම ලැඡ්ජාවට කාරණයක්‌ සේ නොසිතයි. පෙර රජුන්ද බුලත් අතක්‌ රැගෙන තමාට වඩා පහත් අය හමුවීමට යාමට සිදු වී තිබේ. එවිට බුලත් අත අල්ලන පැත්ත හා ක්‍රමය වෙනස්‌ වේ.

බුලත හා සම්බන්ධ බොහෝ කාරණාසේම බුලත් දී වැදීම දැනට බොහෝ දුරට සිංහලයා අතරින් අභාවයට යන සිරිතකි. බුදුන්, දෙමාපියන් සිල්වතුන් වැදීම ආචාර විධියක්‌ පමණක්‌ නොව පූණ්‍යකර්මයකි. එවිට එය නාමයක්‌ (නැමීමක්‌) නොවේ. ප්‍රණාමයකි. නාමය ප්‍රණාමයක්‌ වන්නේ නොමැතිනම් ආශීර්වාදයක්‌ වන්නේ බුලත් අතක්‌ සහිතව වැදිමෙනි.

බුලත් හුරුල්ලටද යම් කොළ සංඛ්‍යාවක්‌ තීරණය කළේ නිකමට නොවේ.

බුලත් හුරුල්ලට කොළ හතලිහක්‌ ඇතළත් වේ. මේ සංඛ්‍යාව තීරණය වී ඇත්තේ උසස්‌ සංකල්පයක්‌ මතය. දීඝනිකායේ ලක්‌ඛන සූත්‍රයේ සඳහන් වන පරිදි අසූමහ පුරුෂ ලක්‌ෂණ අනුව බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛය දත් හතලිහකින් සැදුම් ගනී. උන්වහන්සේ තමන්ගේ ශ්‍රී සද්ධර්මය දේශනා කළේ ඒ ශ්‍රී මුඛයෙනි. ඒ උතුම් ධර්මයම දත් සතලිහේ ස්‌පර්ශය ලැබුණු වග වෙසෙසින් නොකිව මනාය. ඒ සංසිද්ධිය සංකේතවන්නේ බුලත් හුරුල්ලට බුලත් කොළ හතලිහක්‌ තැබීමෙනි. උඩුඇන්දේ දත් විස්‌සක්‌ හා යටි ඇනදේ දත් විස්‌ස සංකේතවත් වන ලෙසට හෙප්පුවේ තබා බුලත් හුරුල්ල පිළිගන්වන්නේ ගොඩවල් දෙකක්‌ ලෙසටය. පෙනෙන සේ ඇසිරීමෙන් බුලත් හුරුල්ල පිළිබඳ මේ ගෞරවනීය පිළිගැනීම ගැන සඳහන් වන්නේ මුඛ පරම්පරා ගත ව්‍යවහාරයෙනි.

මේ අවුරුදු සමයේ භික්‌ෂුන් වහන්සේට දෙමාපියන්ට වැඩිහිටියන්ට බුලත් හුරුලක්‌ දී වැදීම අර්ථ සම්පන්න බව මේනයින් අවබෝධ කරගත හැකිය. වැදුම් ලබන්නා හා වඳින්නා අතර බැදීම පිළිබඳ සාක්‌ෂ්‍යයට සංකේතයක්‌ වන්නේ බුදුන් වදාළ ධර්මයයි. එම ධර්මයේ බලයෙන් වැදුම් ලබන්නාත් වඳින්නාත් අතර සුහදතාව වර්ධනයත් මෙයින් අපේක්‌ෂිතයි. අවුරුදු සමයේ වැදුම් ලබන, වදින සියල්ලටම උදාවන්නේ බුදුන් සරණ සහිත යහපත් වාතාවරණයකි.

කැලණි විශ්වවිද්‍යාලයේ

සිංහල අධ්‍යයන අංශයේ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

සුසන්ත මහඋල්පත

සකස්‌ කළේ

සුගත් ශාන්ත

මොරගහකුඹුර