featu.gif (545 bytes)
දරුවන් ඔබට කරදරයක්‌ කියලාද ඔබ හිතන්නේ?

බොහෝ දෙමාපියන්, වැඩිහිටියන් වන ඔබගේ එක ම බලාපොරොත්තුව වන්නේ තම දරුවන් හොඳින් අධ්‍යාපනය හදාරා රටේ පිළිගන්නා වෘත්තියකට යොමුකොට යහපත් ගුණගරුක වැඩදායී පරිපූර්ණ පුරවැසියන් ලෙස තමන් ට ද සළකමින් ජීවත්වනු දැකීමය. එහෙත් අද දෙමාපියන් හා වැඩිහිටියන් විසින් කුඩා අවධීයේ සිට ම තම දරුවන් තරඟකාරී අධ්‍යාපනයට යොමුකොට දිවා රෑ නොබලා නොනිදා වෙහෙස මහන්සි වී මිල මුදල් සොයමින් නිසි ලෙස පෝෂ්‍යදායී ආහාර නොගෙන, සුදුසු ලෙස ඇඳුම් පැළඳුම් නොඇද, ලෙඩට දුකට ප්‍රතිකාර නොගෙන, සමාජීය යුතුකම් ඉටු නොකොට තම ආගම දහම අදහන්නේ ගරුකරන්නේ නැතිව දරුවන්ගේ ළමා කාලයේ ඔවුන්ගේ ළමා හැසිරීම්, හැගීම්, අවශ්‍යතා රැකවරණය ගැන නොතකා වල්මත් වී දුවන කුළු හරකුන් සේ මංමුලා වූවාසේ ජීවන ගමනක දිවීමට පුරුදුව සිටිති.

මේ ගමනේ කෙළවර ජයගන්නේ කීයෙන් කීදෙනෙක්‌ද? එහෙත් අප කළ යුත්තේ එකිනෙකා යන්නන් වාලේ කරන්නන් වාලේ ක්‍රියා නොකොට නිවැරදි ජීවන ඉලක්‌ක හදුනාගෙන නිවැරදිව දිනුම් කණුවක්‌ වෙත පියමන් කිරීමයි. එසේ පියමන් කරන දරුවාගේ අනාගතය සාර්ථක වී ඔහුගේත්, මුළු මහත් සමාජයේත්, විශ්වයේත් යහපත් වැඩදායී පුද්ගලයෙකු ලෙස විකසිත පුෂ්පයක්‌ සේ ලොවට සුවඳ පතුරවයි.

දෙමාපියන්, වැඩිහිටියන් වන ඔබ තම දරුවන් හට නිතර ම පොත් පාඩම් කරන්න, පංති යන්න, වෙන වැඩ නවත්වන්න. විභාගය නේද? කියමින් බෙරිහන් දෙන්නේ ඔවුන්ට තිත්ත කොහොඹ යුෂ පොවන්නාක්‌ මෙනි. එය එසේ නොකියා දරුවාට අවබෝධකර දිය යුතුව ඇත. දරුවාගේ මානසික, ශාරීරික, සමාජීය, අධ්‍යාත්මික, පෞරුෂය පිළිබඳවත් සොයා බැලිය යුතුය. සෑම දරුවෙක්‌ ම වෛද්‍යවරයෙකු, ඉංජිනේරුවෙකු, නීතිඥයෙකු , ගුරුවරයෙක්‌ ආදී ලෙස තාන්න මාන්න, ඉහළ නම්බුනාම ඇති අය කිරීමට නොහැකි ය. එසේ වුවහොත් මිනිසාගේ අනෙකුත් අවශ්‍යතා සඳහා සරිලන වෘත්තිකයින් අඩු වී පැවැත්ම හා වැඩලෝකය අසමබර වේ. එම නිසා තරඟකාරී අධ්‍යාපනයේ ම අතරමං නොවී තම දරුවන්ගේ හැකියාව කුසලතාවය හදුනාගෙන ඔවුන්ට එම අංශයෙන් දක්‌ෂයෙකු ලෙස ඉදිරියට යැම සඳහා අවශ්‍ය දැනුම, පුහුණුව, හා පහසුකම් සළසාදිය යුතුව ඇත. එවිට ඔවුන් වල්මත් නොවී තමාගෙන් ලෝකයට ඉටුවිය යුතු මෙහෙය නොපිරිහෙලා නිවැරදිව ඉටුකරනු ඇත.

දරුවන් පලමුව නිවසින් ද පාසලෙන්ද සමාජයෙන් ද අධ්‍යාපනය, අත්දැකීම්, අනුකරණය , හා සමාජානුයෝජනය ලබා ඒ අනුව ඔවුන්ගේ පෞරුෂය ගොඩනගා ගන්නා අතර දරුවා නරක පුරුදු, ඇබ්බැහිවීම් සඳහා යොදවා ගන්නා පිරිසක්‌ ද සමාජයේ සිටිති. එනම් අයහපත් යහළු මිත්‍රයින් අසල් වැසියන් ය. මෙකල දරුවන් අත්හදාබැලීම් වලට යොමුවන අතර විෂමාචාර සමාජයේ නරක අය විසින් දරුවන් මුලාකොට අයහපත් දේ සඳහා ඇබ්බැහිකොට එම සමාජයට එකතුකර ගනිමින් ජීවිත විනාශ කිරීමට මාන බලයි. මෙම සමාජයේ සිටින අය අඩු අධ්‍යාපනයක්‌ ඇති තම පවුල්වල නිතර ගැටුම්කාරී පරිසරයක්‌ ඇතිව ජීවත්වීම සඳහා අවශ්‍ය ආදායම් ලැබීමට රැකියා නොකරන දුර්වල පෞරුෂ ඇති පුද්ගලයින් වේ. මෙවැනි අය සමාජයේ බහුලව දක්‌නට ලැබේ. මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම්, ලිංගික අපචාර සඳහා යොමුවීම්, අසභ්‍ය දර්ශන පෙන්වමින් අයතා සබඳතා ගොඩනගමින් දරුවන්ගේ මුදල් වස්‌තුව හා තම ජීවිතය ද අන්සතුකර ගැනීම් පවුල් කඩා විනාශ කිරීම් අවසානයේ දී මිනී මැරීම් සියදිවි නසා ගැනීම් පවා අද බොහෝ වේගයෙන් වැඩිවන්නේ එහෙයිනි.

විශේෂයෙන් දෙමාපියන් වැඩිහිටියන් වන ඔබ තම දරුවාගේ හැසිරීම්, රාත්‍රී කාලයේ හා දිවා කාලයේ ගමන් බිමන් යැම සොයා බැලීම, ඇඳුම් පැළඳුම්, දුරකතන , පරිගනක පරිහරණය පිළිබඳවත් , ආශ්‍රය කරන පුද්ගලයින් පිළිබඳවත් ඉතා වගකීමෙන් යුතුව සොයා බැලිය යුතුය. එසේ තම දරුවාගේ රැකවරණය සැළසීම තුළින් මෙවැනි දූෂිත අපචාරී සමාජ ඇතිවීම නිමාකල හැකිය. මෙයින් කියනුයේ තම දරුවා කාමරයකට දමා කොටුකර තැබීම නොවන අතර තම දරුවාට ලෙන්ගතුකමින් හොඳ නරක අවබෝධකර දිමෙන් නිසි රැකවරණය ලබා දෙමින් නිසි අධ්‍යාපනයත්, රැකියාවත් සුදුසු වයසේ දී අවාහ විවාහ කර දී තමන්ගේ අනාගත සුරක්‌ෂිතතාවය රැකෙන ලෙස දේපල පවරාදීමත් කළ යුතුය. එවිට ඔබගේ දරුවන් අපචාරී, ප්‍රචණ්‌ඩ තිරිසන්, වනචාරී සමාජවල අතකොලුවක්‌, හෙන්චයියෙක්‌, ගොටු අල්ලන්නෙක්‌, චණ්‌ඩියෙක්‌ , වංචාකාරයෙක්‌ , ස්‌ත්‍රී දූෂකයෙක්‌, මැරයෙක්‌ නොවීමට ඇති ඉඩකඩ අහුරා දැමීම දෙමාපියන් හා වැඩිහිටියන් වන ඔබගේ මහත් වූ වගකීමකි. යුතුකමකි.

ටී.එච්.පී. පුෂ්ප කුමාර
ප්‍රවීණ මනෝ විද්‍යා උපදේශක
රුහුණු විශ්ව විද්‍යාලය