featu.gif (545 bytes)
ළමා අපයෝජන සහ අපචාර
එරෙහිව නැගී සිටිමු


කාලෙන් කාලෙට ළමා අපචාර, ළමා අපයෝජන සහ ළමා අයිතිවාසිකම් පිළිබඳව කතා බහ අපේ රටේ ඇති වෙනවා. නමුත් ඒ කතා බහ කරලියේ ටික දවසක්‌ උණු උණුවේ තිබිලා එක පාරටම සළකුණක්‌වත් ඉතිරි නොකරම නිවිලම යනවා.

නමුත් මේ කොතරම් කතා බහ ඇති වූවත් අපේ රටේ සිදු වන ළමා අපචාර සහ ළමා අපයෝජනයන් පිළිබඳව වාර්තාවීමේ අඩුවක්‌ දක්‌නට ලැබෙන්නෙත් නැහැ.

ඒ නිසා ඒ තත්ත්වයන්ට හේතුව කුමක්‌ද කියලා සුදුසුම කෙනෙක්‌ එක්‌ක කතා බහ කරන්න අපි සිතුවා.

ඇය තමයි ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්‌සත් ජාතින්ගේ සංවිධානයේ කමිටු නියෝජිතවරියක්‌ ලෙස කටයුතු කරමින් අත්දැකීම් බහුල විශේෂඥ වෛද්‍ය ශිරන්ති විඡේමාන්න මහත්මිය. ඇය මීට අමතරව ජාතික ළමා ආරක්‌ෂන අධිකාරියේ ක්‍රියාකාරී සමාජිකාවක්‌ ලෙස කටයුතු කරමින් අත්දැකීම් බහුල කාන්තාවක්‌.

1995 සහ 1996 කාලවලදී අපේ රටේ ළමා අපයෝජන සිද්ධින්ගේ වාර්තාවීම් දුර්වලවෙලා තිබුණා. නමුත් දැන් දැන් එවැනි සිද්ධින්වල වාර්තාවීම්වල වැඩිවිමක්‌ සහ සිදුවීම්වල වැඩිවීමක්‌ දක්‌නට ලැබෙනවා. මේ තත්ත්වයන් ඇති වෙන්න බලපෑ හේතුන් රැසක්‌ අපි මේ වනවිට හඳුනාගෙන තියෙනවා. එයින් ප්‍රධාන තැනක්‌ ගන්නේ ග්‍රාමීය පවුල්වල මව්වරුන් රැකියා සඳහා විදේශගත වීමයි. මේ හේතුවෙන් එම පවුල්වල ගැහැණු දරුවන් ඇයගේ පියාගෙන්, ඥතිවරයෙකුගෙන්, ගුරුවරයාගෙන් හෝ පවුලට හිතවත්කමින් නිතර ගෙදර යන එන වැඩිහිටියෙකු මාර්ගයෙන් අපයෝජනයට ලක්‌ වෙනවා. එහෙම්ත් නැත්නම් මව හෝ පියා පවුල හැරයැම, පියා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම වැනි හේතුන් නිසා ද දරුවන් අතවරවලට ගොඳුරුවීම වැඩිවී ඇති බව අප හඳුනා ගෙන තිබෙනවා. අතීතයේ මෙවැනි සිදුවීම් වාර්තා වුණේ ඉතාම කලාතුරකින්. නමුත් අද ඒ තත්ත්වය හාත්පසින්ම වෙනස්‌වෙලා අපයෝජනයක්‌ සිදු වූ සැනින් ළඟම ඇති පොලීසියට හෝ ළමා කාන්තා කාර්යාංශයට දැනුම් දෙන්න ජනතාව පුරුදුවෙලා ඉන්නවා. මේ නිසා අපරාදකරුවන්ට නිදැල්ලේ හැසිරෙන්නට අවස්‌ථා අඩුයි.

අනෙක්‌ දේ තමයි තාක්‌ෂණික දියුණුව නිසා අන්තර්ජාල සහ වෙනත් වෙබ් අඩවි හරහා දරුවන් අතට පත්වන කාම දර්ශනයන් සහ ලිංගික දර්ශනත් යම් බලපෑමක්‌ එල්ල කරනවා.

තවත් දෙයක්‌ තමයි අද වන විට ලංකාවේ වර්ධනය වෙන සංචාරක කර්මාන්තය නිසා ඇතැම් විදේශිකයන්ගේ අපයෝජනයට මුහුදු ආශ්‍රිතව ජීවත් වන අඩු ආදායම්ලාභී පිරිමි දරුවන් ගොඳුරු වෙනවා.

මෙවැනි දේවල් වළක්‌වා ගැනීම සඳහා අපි කළ යුත්තේ කුමක්‌ද?

දරුවන්ට යමක්‌ හොඳින් අවබෝධ කර ගැනීමට හැකි අවස්‌ථාව වන විට ඔවුන්ට සමාජය පිළිබඳව සහ ලිංගික අධ්‍යාපනය පිළිබඳව නිසි අවබෝධයක්‌ වැඩිහිටි ඔබ ලබා දිය යුතුමයි. දරුවන්ගේ ලිංගික ප්‍රදේශ මවට හෝ පියාට හැර වෙනත් කිසිවෙකුටවත් ඇල්ලීමට හෝ පරීක්‌ෂා කිරීමට නොදිය යුතුයෑයි දරුවාට අවබෝධ කිරීම තවත් වැදගත් දෙයක්‌. මේ කාරණා කිහිපයක්‌ පමණයි. වැඩිහිටි ඔබ දරුවන් පිළිබඳව විමසිල්ලෙන් පසුවීම සහ ඔවුන් සමඟ යහළුවන් ලෙස කටයුතු කිරීම අත්‍යවශයයි. දරුවන් ආශ්‍රිය කරන්නේ කවුරුන් ද විමසිලිමත්වීමත් අවශ්‍යයි.

පාසල් මට්‌ටමින් දරුවන්ගේ විෂය මාලාවට කුඩා පංතිවල සිට ලිංගික අධ්‍යාපනය පිළිබඳව ඉගැන්වීම හරිම වැදගත් වෙනවා.

එවැනි සිදුවීමක්‌ වූ වහාම ඒ පිළිබඳව මවට හෝ යම් වැඩිහිටියෙකුට පැවසිය හැකි වන අන්දමේ සම්බන්ධතාවයක්‌ දරුවා සහ මව හෝ පියා අතර ගොඩ නඟා ගෙන තිබීම වටිනවා.. ලැඡ්ජාව නිසා දරුවාට හෝ පවුලට වෙන කැළල නිසා මෙවැනි තත්ත්ව සඟවා සිටීම සුදුසු නැහැ.

මෙවැනි පුද්ගලයන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කළ යුතුයි. කිසිම විටෙකත් එවැනි සිද්ධීන්ට අනුබලදීමක්‌ සමාජය විසින් නොකළ යුතුයි.

හරින්දී ලියනගේ